(කොළඹ, ලංකාපුවත්) විභාග නීති රීති නිසියාකාරව පිළිපදිමින් විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව විභාග වංචාකරුවන්ට එරෙහිව විභාග නීතියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පරීක්ෂණ සිදු කර නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
පසුගිය දා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලේ සිසුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කළ විභාග වංචාව පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සිදු කළ පරීක්ෂණ වාර්තාව අනුව එම සිද්ධියේ සැකකාර සිසුවාගේ මෙවර විභාග අපේක්ෂකත්වය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ. එසේම එම සිසුවා සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලීසිය මගින් වැඩිදුරටත් විමර්ශන කටයුතු පැවැත්වේ.
ඉසිපතන විදුහලේ විභාග මධ්‍යස්ථානයේ දී පුද්ගලික අයදුම්කරුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදුකළ විභාග වංචාවක් පිළිබඳ ලැබුණු තොරතුරක් අනුව නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකු විසින් අදාළ මූලික පරීක්ෂණ කටයුතු සිදු කරන අතර මෙම පරීක්ෂණයට අමතරව ඉදිරි කටයුතු සඳහා නාරාහේන්පිට පොලීසියට ද පැමිණිලි කර තිබේ.