සැබෑ සොරුන් කවුදැයි රටේ ජනතාව දන්නා බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑ ගසනවා මෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කළ ජන හමු මාලාවේ පළමු ජන හමුව ලෙස ,නිදහසේ ජන හමුව, නමින් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනකට මංගල පියවර තබන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන නියෝජිතයින් සමග බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශපාලනයට පැමිණ සල්ලි හොයාගෙන, සාක්කු පුරවාගනිමින් ජනතාවගේ හෘද සාක්ෂියට පයින් ගසා ධනේෂ්වරයින් වීමට මෙවර මැතිවරණයෙන් තේරිපත්වන කිසිදු නියෝජිතයෙකුට තමා ඉඩ නොදෙන බවට ද ජනතාවට ප‍්‍රතිඥා දුන්නේය.

2015 ජනාධිපතිවරණයේදී පැවති රජය පරාජය වීමට හේතුවූ කරුණු ගණනාවක් වසර දෙක තුනක සිට ගොඩනැගුනද පැවති රජයේ පරාජයට ප‍්‍රමුඛ හේතුවක් වූයේ පළාත් පාලන නියෝජිතයින් සිදුකළ වංචා දූෂණ සහ අසාධාරණකම් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රාදේශිය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අගමැති ධූරයට හෝ ජනාධිපති ධූරයට පත්වන කිසිවෙකුට ජනතාවගේ මුදල්වලට අතතැබීමට කිසිදු අයිතියක් නොමැති බවද අවධාරණය කළේය.

සෑම මැතිවරණයකදීම පොරොන්දු දුන් එහෙත් යථාර්තයක් බවට පත් නොවුණු මොරගහකන්ද ජලාශය නිම කර රජ රට ජනතාව වෙනුවෙන් තිළිණ කළේ එම ගොවි ජනතාව වෙනුවෙන් වූ ඓතිහාසික වගකීමක් ඉටුකරමින් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ඊට උප්පැන්න ලියා ගැනීමට කතා කරන්නේ වසර 05 ක් යන තුරු ඒ වෙනුවෙන් ශත පහක්වත් ලබා නොදුන් අය වීම කණගාටුවට කරුණක් බවද කියා සිටියේය. එදා එහි වැඩ කටයුතු සිදුකෙරුණා නම් මොරගහකන්ද ජලයෙන් රජ රට කෙත් වතු සාරුසාර වන්නේ මීට වසර 05 කට පෙර සිට බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කරමින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයෙන් නැගුණු චෝදනාවලින් යුද නාවික, ගුවන් රණවිරුවරුන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැකදෙමින් යුතුකම් ඉටු කළේ වත්මන් රජය බව මේ රටේ ජනතාව දන්නා බවද කියා සිටියේය.

දේශපේ‍්‍රමිත්වය, ජාතික අනන්‍යතාවය සහ අපේ උරුමය ආරක්ෂා කරමින් සැමදා මාතෘභූමිය පෙරට ගෙන ගිය ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අනාගතයේදී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට රටට ආදරය කරන සියලු ජනතාව පෙළගැසිය යුතු බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණේ කි‍්‍රයාකාරීන් රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කළ අපේක්ෂකයින් ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් වේදිකාවට පැමිණීම ද විශේෂත්වයක් විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පක්ෂයේ මැති ඇමතිවරු රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *