සැමට යුක්තිය පදනම් කරගත් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ අධිකරණ අමාත්‍යාංශය (MoJ), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අරමුණු කොට ගත් “අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහන (JURE)” නිල වශයෙන් ආරම්භ කිරීම අද(21) අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම නව වැඩසටහන සඳහා යුරෝපා සංගමය විසින් යූරෝ මිලියන 18 ක මුදලක් (ආසන්න වශයෙන් ලංකා රුපියල් බිලියන 4ක්) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යූරෝ මිලියන 1 ක මුදලක් (ආසන්න වශයෙන් ලංකා රුපියල් මිලියන 225ක්) ලබා දී ඇති අතර අධිකරණ ක්‍ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් වසර හතරහමාරක් තුළ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.

යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන හරහා අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම මෙන්ම ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයීම තහවුරු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ අපේක්‍ෂාව වන අතර මෙම වැඩසටහන අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත. තවද, මෙම වැඩසටහන හරහා කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් යුක්තිය සඳහා ඇති ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම, වාණිජ කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්ට සහාය වීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

ශ්‍රී ලංකා ජනරජයේ ඉදිරි ගමන්මග සඳහා පුළුල්, කාර්යක්ෂම සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් පැවතීම මූලික අවශ්‍යතාවයක් වන බවත්, ස්වාධීන අධිකරණයක් සහතික කරන අතරම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බවත්, නවීන යාන්ත්‍රණයක් සහ සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය නොමැතිව මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බවත්, මෙම යෝජිත වැඩසටහන එමඅරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා නිසැකවම මග පාදනු ඇති බවත්, ඒ සඳහා සඳහා යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධිකරණ අමාත්‍යාංශය සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳව සතුටු වන බවත්, මෙම අවස්ථාවට එක්වූ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ගරු ඩෙනිස් චයිබි මැතිතුමා, සමාජ සහජීවනය සඳහාත් රාජ්‍යය හා පුරවැසියන් අතර අන්‍යොන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම සඳහාත් නවීන, කාර්යක්ෂම සහ පුළුල් අධිකරණ ක්‍ෂේත්‍රයක් පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන ලද අතර ශ්‍රී ලංකා ජනරජය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමග එක්ව මෙරට අධිකරණ ක්‍ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුරෝපා සංගමය විසින් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බවත්, ඒ සඳහා වෙන් කොට ඇති ප්‍රතිපාදන ප්‍රමාණය තුළින් එය පැහැදිලි වන බවත් ප්‍රකාශ කරන ලදී.

විශ්වාසදායක පාර්ශවකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් දිගුකාලීනව ලබා දුන් සහයෝගය සිහිපත් කරමින් අදහස් දැක්වූ එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රොබට් යූජකම් මහතා, යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම,මහජන අවශ්‍යතා සහ හැකියාවන්මූලික කරගත් ප්‍රතිපත්ති,ආයතන සහ වැඩසටහන් සඳහා අවැසි ආකාරයට JURE වැඩසටහන සැලසුම් කර ඇති බවත්, අධිකරණ ක්‍ෂේත්‍රයේ අදාළ රාජ්‍ය ආයතන, ස්වාධීන කොමිෂන් සභා, වෘත්තීය ආයතන, අධ්‍යයන ආයතන සහ සිවිල් සමාජය ඇතුලු සියලු පාර්ශවකරුවන් හට අධිකරණ ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ප්‍රයත්නයට සහාය වෙමින් එක්ව වැඩ කිරීම සඳහා සුදුසු වේදිකාවක් සැපයීමට JURE වැඩසටහනට හැකි වනු ඇති බවත්, මෙම වැඩසටහන හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා උසස් භාවිතයන්ට අනුගතව අධිකරණ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හා සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන පිළිබඳ SDG-16 ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

ළමයින්ට අදාළව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා නෛතික රාමුව වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත්, මෙම වැඩසටහන හරහා වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු හෝ වැරදිකරුවකු හෝ ලෙස ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා සම්බන්ධවන සෑම දරුවෙකුටම වඩා යහපත් අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බවත්, එවැනි දරුවන්ට ඔවුන්ගේ අධිකරණ කාර්යයය සදහා නීතිමය සහාය සහ වඩාත් කාලෝචිත හා සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇති අතර, විශේෂයන්ම, ඔවුන්ට පුනරුත්ථාපනය සඳහා සහ සාධාරණ අවස්ථාවන් ලැබෙනු ඇති බවත්,එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසීය.

නව්‍ය ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය හා ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රය නවීන, කාර්යක්ෂම හා පුළුල් ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා අධිකරණ ප්‍රතිසංස්කරණ (JURE) වැඩසටහන දායක වනු ඇති අතර එමගින් සමාජ සහ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමටත් වඩාත් සාමකාමී සහ සාධාරණ ශ්‍රී ලාංකීය ජන සමාජයක් ගොඩනැංවීමටත් හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *