නාවල ඉන්ධන හටකට සීල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (18) පියවර ගනු ලැබීය.

ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවකි. එම වරද නාවල ඉන්ධන පිරවුම්හලේ ඊයේ දින සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන ඇත.

එම භූමිතෙල් තොගය කර්මාන්ත ශාලාවක් වෙත හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබෙන්නට ඇතැයිද විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය පියවර ගෙන තිබේ.

මේ වන විට භූමිතෙල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරනුයේ එක් ලීටරයකින් රුපියල් 30ක පමණ පාඩුවක් ලබමිනි. එය පාඩුවකට වඩා මහජනතාවට ලබා දෙන සහනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සලකයි. මහජනතාවට ලබාදෙන එම සහනය කූට පුද්ගලයින් විසින් අයුතු ලෙස අවභාවිත කිරීම ගැන විශේෂ අවධානයක් යොමුවී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

එවැනි අක්‍ර‍මිකතා සිදු කරන්නන්ට එරෙහිව ආයතනික නීතියත් රටේ නීතියටත් අනුව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පවසයි. එතුමා තවදුරටත් අවධාරණය කළේ ඩීසල්වලට භූමිතෙල් කලවම් කර විකුණුවහොත් ඔවුනටද කිසිඳු සමාවක් නොදෙන බවයි. ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාවට පැවරී ඇති බලතල අනුව එම වරද සිදු කරන ඉන්ධනහල්වල සහ බවුසර් රථවල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මේ වන විට ඩීසල්වලට භූමිතෙල් කලවම් කරන බවට අවස්ථා කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී තිබෙනවා. විශේෂයෙන්ම භූමිතෙල්වල ලීටරයක මිල ඉතා පහළ මට්ටමක තිබෙන්නේ. මේ නිසා කූට පුද්ගලයින් ඩීසල් වෙළඳාමෙන් ඉහළ ආදායමක් ලැබීමට ඊට භූමිතෙල් කලවම් කරන බවට වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඇතැම්විට බස්රථ සඳහාද ඩීසල් වෙනුවෙට භූමිතෙල් භාවිතා කරනවා. නමුත් අපි පාඩු ලබා ගෙන භූමිතෙල් අලෙවි කරන්නේ සාමාන්‍ය ජනතාව සහනයක් ලබා දීමේ අමුණින්. මේ හේතුවෙන් භූමිතෙල් සහනය අවභාවිතා කිරීම ගැන අපේ අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීනිතගත සංස්ථාවත් දැඩි අවධානයෙන් සිටින්නේ. ඉදිරියේදී එවැනි ක්‍රියා සිදු කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. දැනටමත් අපේ අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විමර්ශන ඒකකයත් හදිසි පරීක්ෂා කිරීම් සහ වැටලීම් දිනපතා සිදු කරනවා. එවැනි වරදක් කර හසුවුණු, රසායනාගාර පරීක්ෂණවලින් එම වරද තවදුරටත් තහවුරු වුණු අයට විරුද්ධව අපි දැනටමත් නීත්‍යානුකූල පියවර ගෙන තිබෙනවා. මෑතකම උදාහරණයක් ලෙස ඊයේ සිද්ධිය දක්වන්නට පුළුවන්. ඊට අමතරව නාවුල පිරවුම්හලේ ඉන්ධන විකීණීම තහනම් කිරීමටත් කුරුණෑගල ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයට වෙත ඉන්ධන ප්‍රවාහන කරමින් සිටියදී ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ වරදට උඩුගම්පොළ බන්ධන බවුසරයේ ඉන්ධන ප්‍රවාහන බලපත්‍රය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමත් කටයුතු කර තිබෙනවා. ඔවුනට විරුද්ධව රටේ නීතිය අනුවත් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේදී මේ සහනයෙන් අයුතු ප්‍රයෝජන කූට වෙළඳුන් විසින් ලබා ගැනීම වළකා එම සහනය ජනතාවටම ලැබෙන සේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමටත් අපි මේ දිනවල සාකච්ඡා වෙමින් පවතිනවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඇමතිවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන කලවම් කිරීමක් ගැන හෝ භූමිතෙල් සහනය අවභාවිතා කිරීමක් ගැන වාර්තා වුවහොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසයි. එමෙන්ම 0728870624 සහ 0777748417 යන දුරකථන අංකවලින් හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන්ට දැනුම් දෙන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *