(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ නව ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබයි.
මේ සඳහා වන ද්වීපාර්ශ්වික ගිවිසුමට අත්සන් කිරීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) සිදුකෙරුණු අතර එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඊට අත්සන් කළහ.
මෙම ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 70ක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් වන අතර දෙරට අතර පවතින සහයෝගීතාවයේ දීර්ඝ ඉතිහාසය පෙන්වන්නක් බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ සාම ප්‍රජාවේ කටයුතුවල දී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබාදෙන අතර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මෙම ස්වෙච්ඡා සේවකයන් සඳහා මාස තුනක පරිපූර්ණ සංස්කෘතික, භාෂා හා තාක්ෂණික පුහුණුවක් ලබාදෙනු ඇත. අවුරුදු දෙකක් සේවය කිරීම සඳහා වූ ඔවුන්ගේ පත්වීම ලබාදීම එයින් අනතුරුව සිදුකෙරෙන අතර මුල් සාම ප්‍රජා කණ්ඩායම එළඹෙන 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂප් මහතා පෙන්වා දුන්නේ සාම ප්‍රජාව නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවත් ස්වෙච්ඡා සේවකයන් සමානත්වයේ හා හවුල් සෞභාග්‍යයේ පරමාදර්ශ මෙන්ම සාමකාමී ස්ථාවර ලෝකයක් පිළිබඳ පොදු අපේක්ෂාවන් ප්‍රවර්ධනය කරන බවත්ය.
1962 වසරේ සිට 1998 දක්වා වූ කාලය තුළ අධ්‍යාපනය, සෞඛ්‍යය හා තරුණ සංවර්ධනය යන අංශවල කටයුතු කළ සාම ප්‍රජා ස්වෙච්ඡා සේවකයන් 370ක් ශ්‍රී ලංකාවේ සේවය කර තිබෙන අතර දේශපාලනය අස්ථිර බව හේතුවෙන් මෙම වැඩසටහන 1998 වසරේ දී නවතා දමා තිබෙන බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වුවද නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහාය වන ලෙස ශ්‍රී ලංකා රජය 2016 වසරේ දී සාම ප්‍රජාවට ආරාධනා කර තිබේ. මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජනපද සාම හමුදාවේ වැඩබලන අධ්යක්ෂ ශීලා ක්‍රොවිලි මහත්මිය පෙන්වා දුන්නේ සාම ප්‍රජාව නැවත ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර වර්ධනය වූ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ලැබෙන අවස්ථාවක් බවත් ශ්‍රී ලාංකිකයන් සමඟ වැඩකිරීමට සාම ප්‍රජා ස්වෙච්ඡා සේවකයන්ට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත් ජනතාවටත් ස්තුතිය පිරිනමන බවත්ය.