චීනයේ ජනපතිට ජීවිතාන්තය දක්වා බලයේ සිටීමට හැකියි

(කොළඹ, ලංකාපුවත්) – චීන ජනාධිපතිවරයාට ජීවිත කාලය මුළුල්ලේම බලයේ රැඳී සිටීමට හැකි වන පරිදි නීති සංශෝධනය කෙරුණි.

ඒ ඊයේ(11) පැවති චීන ජාතික මහජන කොංග්‍රසයේ රැස්වීමේ දීය.

මින් පෙර පැවතුනේ ජනාධිපතිවරයාට වාර දෙකක් පමණක් බලයේ සිටීමට හැකි නීතියකි.

ඊයේ චීන ජාතික මහජන කොංග්‍රසය රැස්වීමෙන් පසු ජනාධිපතිවරයාට බලයේ රැඳී සිටීම සඳහා තිබූ සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කරන ලදි. මේ අනුව වත්මන් ජනාධිපති ෂී ජින් පින් මහතා වෙත ඇති දේශපාලන බලය තවත් ශක්තිමත් වන බව දේශපාලන විචාරකයින් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු 2023 වසරේ දී සිය දෙවන ධුර කාලය අවසන් කිරීමට නියමිතව සිටියා. ෂී ජින් පින් ආකාරයේ නව සමාජවාදයක් චීනය තුළ ඉදිරියේ දී හිස ඔසවනු ඇති බව විචාරක අදහස වේ.

ඔහු දූෂණයට එරෙහිව දැඩි වැඩපිළිවෙළක් පසුගිය කාලය මුළුල්ලේ ක්‍රියාත්මක කළේය. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් දූෂණ චෝදනාවලට වැරදිකරුවන් බවට පත්විය. මේ හේතුවෙන් ෂී ජින් පින් මහතාගේ ජනප්‍රියත්වය දිගින් දිගට වර්ධනය වූ බව විදෙස් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *