සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් නොපමාව ඉටුකරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ වෙනුවෙන් බොහෝ වැඩකොටසක් මේ වන විට ඉටු කර තිබෙන අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලද සද්ධර්ම කීර්ති ශී‍්‍ර විද්‍යා විභූෂණ,විද්‍යාභිමානි ශිරෝමණි,ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත, අපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනාහිමිපාණන් ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත‍්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ(17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි.

දක්ෂ වියත් පඬිරුවනක් වන පූජ්‍ය මාතලේ ශ‍්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේගේ ශාසනික හා සාමාජයීය මෙහෙවර අගය කරමින් උන්වහන්සේට මෙම ධූරය පිරිනමා තිබේ.

මෙම පුණ්‍යෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සමාජය යහමගට ගැනීම සඳහා ආගමික දර්ශනයන්ට අනුව ඉටුකළ යුතු වැඩපිළිවෙළ ද නොපමාව ඉටු කිරීමට වත්මන් රජය උරදී සිටින බවයි.

ධර්මධර, විනයධර බහුශ‍්‍රැත මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක හිමිපාණන් වහන්සේගේ ශාසනික සහ සාමාජයීය මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා උන්වහන්සේගේ චරිතයෙන් නව තරුණ භික්ෂු පරපුරට සහ ගිහි සමාජයට ලබාදෙන ආදර්ශය ඉතා වැදගත් බව ද කියා සිටියේය.

අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම අභිෂ්ටව සංග‍්‍රහය “කුසුමාඤ්ජලී” නම් ශාස්ත‍්‍රීය කලාපය එහි සංස්කාරක රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය තල්දෙන අරියවිමල ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍මසිරි නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම පුණේ‍යාත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *