ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර 03 සඳහා කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් හට උපදෙස් දෙනු ලැබී ය.

ඒ අනුව අදාළ කෙටුම්පත සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමේ අරමුණින් පවත්වන ලද පළාත් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සංසදයේ රැස්වීම පසුගියදා (20) මහනුවර ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු තාක්ෂණික ආයතනයේ දී පැවැත්වුණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු මෙන්ම සියලුම පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු, ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයන් අවබෝධ කරගනිමින් ස්වභාවික උවදුරු, පසු අස්වනු හානිය, සතුන් විසින් සිදුකරනු ලබන හානිය, නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීම, විධිමත් කෘෂිකාර්මික පුහුණුව, වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම වැනි කෘෂි ක්ෂේත්‍රයට අදාළ කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙම පළාත්පාලන සමුළුවේ දී සාකච්ඡා කරනු ලැබී ය.

මෙම අදහස් හා යෝජනා ලබා ගැනීම මඟින් සකස් කෙරෙන තුන් අවුරුදු කඩිනම් කෘෂිකාර්මික සැලැස්ම ලබන 24 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත භාර දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අප රටේ කෘෂිකර්ම සංවර්ධනය සිදුවිය යුත්තේ ගොවි ජනතාව ආරක්ෂා කිරීමට මෙන්ම, පාරිභෝගික ජනතාවත් ආරක්ෂා වන පරිදි ය.වාර්ෂිකව අප රටේ අති විශාල මුදලක් ආහාර වර්ග ආනයනය සඳහා වැය කෙරේ .එම නිසා එම මුදල් අප රට තුළ ඉතිරි කර ගැනීම සඳහා අපනයනය ඉලක්ක කර ගත් බෝග වගාව කෙරෙහි මහජනතාව උනන්දු කළ යුතු ය.

හැකිතරම් ආහාර ආනයනය සීමා කිරීමටත්, අපනයනය ඉහළ නැංවීමටත්, අවශ්‍යවන පරිදි කෘෂිකර්මාන්තය ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ මෙහෙයවිය යුතු බවත් ඇමතිවරයා අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *