සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන්නැයි අගමැතිගෙන් ඇමතිවරුන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –හැම ප්‍රශ්නයකම පැටලෙන්නට නොයා ඉදිරි මාස 18 කාලයේදී සිඝ්‍ර සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නැයි තමන් ඇමතිවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි මාස 18 ක කාලයේදී ආණ්ඩුව ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කරන බවත් එහිදි ග්‍රාමීය සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (01) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. එයට එක් වෙමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

“ඉදිරි මාස 18 ක කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව සිඝ්‍ර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. ව්‍යාපෘති රැසක් ආරම්භ කර හිර වෙන්නේ නැතිව නොකර ප්‍රමුඛතාව පරිදි සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මම ඇමැතිවරුන්ට උපදෙස් දුන්නා. අපේ සංවර්ධන සැලැසුම යටතේ ග්‍රාමීය සංවර්ධනය විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ගම්මානවල සංවර්ධනය උදෙසා අපි රුපියල් මිලියන 80,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

සෑම ගමකම දියුණුවට බලපාන අයුරින් මෙම මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අනවශ්‍ය ප්‍රශ්නවල පැටලෙන්නේ නැතිව අපි සංවර්ධන කටයුතුවල නිරත විය යුතු බව මම කිව්වා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නැහැ. එහෙත් අපි අඛණ්ඩවම සංවර්ධන වැඩසටහන ක්‍රියත්මක කරනවා. අපි සිඝ්‍ර සංවර්ධනයට ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. අපේ සම්පූර්ණ කාලය සිඝ්‍ර සංවර්ධනය සඳහා යොමු කර තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ සංවර්ධනයයි. ජනතාව ඡන්දේ දුන්නේ සංවර්ධනය දකින්නයි. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වන සංවර්ධනය ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා”.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, අශෝක ප්‍රියන්ත සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්. ටී. කොඩිකාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පත්වීම්ලාභින් රාශියක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *