පුත්තලමේ පිපාසය නිවීමට යෝධ පානීය ජල ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් සම්පූර්ණයෙන්ම ආවරණ වන පරිදි කි‍්‍රයාත්මත පානීය ජල යෝජනා ක‍්‍රමයේ වැඩ ආරම්භ කිිරීම පසුගියදා (02) ආණමඩුව ජල සම්පත් භූමියේදී සිදු කෙරිණ.

සමස්ථ ව්‍යෘපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8625 කි. ස්පාඤ්ඤ රජය මේ සඳහා අධාර සපයයි. අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන ලදී. ඊට ස්පාඤ්ඤ රජයේ නියෝජිතයින්ද එක්ව සිටියහ.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජනතාව නිරන්තරයෙන් පීඩාවට පත්වන පානීය ජල ගැටළුවට ස්ථිර විසඳුම් ලබා දෙමින් සහ තවත් වසර 30 ක් දක්වා වූ ඉදිරි අනාගතයේ ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට හැකිවන පරිදි මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ සෘජුවම එක්ලක්ෂ විසි දහසක් තරම්වූ ජනගහනයකට පානීය ජලය ලබා දීමට නියමිතයි. ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පුත්තලම යන ප‍්‍රාදේශිය ලේකම් බලප‍්‍රදේශ සියල්ල ආවරණ වන පරිදි පානීය ජලය සැපයීමට මෙමගින් සැලසුම් කර තිබේ. එමෙන්ම වයඹ පළාතට අයත් කොටවෙහෙර හා ගල්ගමුව යන ප‍්‍රදේශ වෙතද මෙම ව්‍යාපෘතිය යටතේ ජලය ලබා දීමට සැලසුම් කර ඇත.

ඉගිනිමිටිය වැවට පහළින් වූ ප‍්‍රදේශයේ පොකුණක් ඉදිකිරීමට නියමිත අතර, ජල පිරිපහදුව ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේද එම ස්ථානයේයී. ව්‍යාපෘතියට අදාලව තවත් ඇල මාර්ග කිහිපයක්ද ඉදිකිරීමට නියමිතයි. ඉගිනිමිටියේ සිට දිවෙන ජලය බෙදා හරින නල පද්ධතිය කිලෝමීටර් 400 ක් තරම් දුරට දිවයයි.

යෝජිත නව ජල යෝජනා ක‍්‍රමය යටතේ ස්ථාන හතරක ප‍්‍රධාන ජල ටැංකි හතරක් ස්ථාපිත කෙරේ. මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරයේ පළමු ජල ටැංකිය ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවැන්න ආණමඩුව ගම්උදා භූමියේද තෙවැන්න මුල්ලේගම ප‍්‍රදේශයේද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. සිව්වැනි ජල ටැංකිය ඉදිවන්නේ ඔලගන්විල්ලූව ප‍්‍රදේශයේයී.

2020 වසරේදී සියළු ඉදිකිරීම් නිමා කිරීමට නියමිත අතර, ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය විසිනි. ගම් වටකළ පවස නිවන දිය උල්පත යන තේමාව යටතේ මෙම ජල ව්‍යාපෘතිය කි‍්‍රයාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *