(කොළඹ, ලංකාපුවත්) – තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක සාක්ෂි දීම සඳහා ඔක්තෝබර් මස 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නැවතත් සිතාසි නිකුත් කර තිබේ.
අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා අද(24) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට මීට පෙර අධිකරණ සිතාසි නිකුත් කර තිබුණි.
එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දින පැවැත්වෙන බැවින් අධිකරණය හමුවට පැමිණීමට දුෂ්කර බවට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව මීළඟ දින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවා ගැනීමට අපහසු නම් වෙනත් සාක්ෂිකරුවකු කැදවා නඩුව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා ඇත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව බිඳ දැමීමට කටයුතු කළේ යැයි චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණී.