පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග ඊයේ (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට සියලු නිලධාරින් රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව සියලු දෙනාට ස්තූතිය පළ කළේය.

වඩාත් ශක්තිමත් සහ ගුණාත්මක සේවාවක් ලෙස පොලිස් සේවාව පවත්වාගෙන යාම සඳහා ක්ෂේත‍්‍රයේ සිදු විය යුතු ප‍්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට තෘප්තිමත් මනසකින් යුතුව සිය රාජකාරී ඉටුකිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා, ක්ෂේත‍්‍රයේ සියලු ගැටලු සාකච්ඡා සහ සංවාද මගින් විසඳා ගැනීමට ඇති හැකියාව ද පැහැදිලි කළේය. එමෙන්ම පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත් කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

අද දවසේ මෙන්ම හෙට දවසේ රට හමුවේ ඇති අභියෝග හඳුනා ගනිමින් සැලසුම්සහගතව පොලිස් දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටුකිරීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිතුමා පොදු ජනයා අපේක්ෂා කරන සාධාරණ හා අපක්ෂාපතී පොලිස් සේවයක අවශ්‍යතාවයත්, පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේ ය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, පසුගිය මාස තුන තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත්, අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත් ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය ද විමසා බැලුණු අතර, පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *