මෙවර “යොවුන් පුරය” හම්බන්තොට දී

(කොළඹ, ලංකාපුවත්) –“2019 යොවුන් පුරය” පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

අරලියගහ මන්දිරයේදී පැවැති එම සාකච්ඡාව සදහා වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා ද එක්ව සිටියහ.

මෙවර 10 වන “යොවුන් පුරය” 2019 මාර්තු 28, 29,30,31 හා අප්‍රේල් 1 දිනයන්හීදි හම්බන්තොට, වීරවිල පශුසම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙහිදී යොවුන්පුර වැඩසටහන සාර්ථක කරගන්නා ආකාරයත්, කඩිනම් සහ නිවැරදි තීන්දු තීරණ ගනිමින් පරිසරය ආරක්ෂාවන අයුරින් මෙම වැඩසටහන පැවැත්වීමටත් තීරණය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ හා රාජ්‍ය ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ත්‍රිවිද හමුදාවේ නිලධාරීන් පිරිසක්ද සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *