උතුරේ සංවර්ධන වැඩ කඩිනම් කිරීමට මධ්‍යම ආණ්ඩුවේ සහාය ලබාදීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාව මගින්, උතුරේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් තවදුරටත් කඩිනම් කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ සහය ලබාදීමට තමා සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරු පළාතේ නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක්, කන්කසන්තුරේ නව වරායක් ඇති කිරීමටත් එම සංවර්ධන ව්‍යාපෘති මගින් අපනයන ආර්ථිකයකුත්, සංචාරක ව්‍යාපාරයේ දියුණුවත්, නවීකරණය වූ කෘෂිකර්මාන්තයකුත් ඇති කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරන බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බවත් අතීතය පිළිබඳ සත්යෙ ප්‍රකාශ කොට එකිනෙකාට කණගාටුව පළ කොට සමාව ලබාදී ශ්‍රි ලාංකිකයන් ලෙස එකමුතුව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අගමැතිවරයා එහීදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කාර්යයන් කඩිනම් හා විධිමත් කරලීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පසුගිය ගංවතුරින් විපතට පත් පවුල් වෙත වන්දි ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (15) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන සමාලෝචන රැස්වීම අමතමිනි.

උතුරු පළාත් සභාවේ බලතල භාවිතා කර තමන්ගේ ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. පළාත් සභාවේ කටයුතු කැපවී හොදින් සිදු කළහොත් තව තවත් දියුණු තත්වයකට පත්කිරීම සදහා අපි ප්‍රතිපාදන ලබාදීමට ද සූදානම් බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

දැන් සිදුකළ යුත්තේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීමේ මාර්ග සෙවීම පමණක් නොවෙයි. උතුරේ ආර්ථිකය සකස් කර ජනතාවට මුදල් ලබා දිය යුත්තේ කෙසේද කියා සිතිය යුතුයි. යුද්ධයට පෙර හොද ආර්ථිකයක් උතුරේ පැවතුණා. උතුරේ අලුත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, කන්කසන්තුරේ හොද වරායක් ඇති කිරීමටත් එමගින් හොඳ අපනයන ආර්ථිකයකුත්, සංචාරක ව්‍යාපාරයේ දියුණුවත්, නවීකරණය වූ කෘෂිකර්මාන්තයකුත් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජනතාව කියන්නේ දැන් සංහිදියාව තිබෙනවා කියලා. ඒ සංහිඳියාව රැකගෙන අපි ඉදිරියට යා යුතුයි. සමහර කාරණා ගැන නඩු තිබෙනවා. එල්ටීටීඊ අයටත් නඩු දාලා තිබෙනවා. මම හිතන්නේ හමුදාවේ සහ පොලිසියේ කොටසකටත් නඩු දාලා තිබෙනවා.

මේ සියල්ල සිදු කළේ 2015 ට පෙර පැවති ආණ්ඩුවෙන්. එම නඩුවලට සාක්‍ෂි තිබුණ නිසා අපි එම නඩු ඉදිරියට ගෙන ගියා. දිගින් දිගටම නඩු දැමීමෙන් සංහිදියාවක් හෝ ඉදිරි ගමනක් ඇති වෙන්නේ නෑ. සංහිදියාවක් ඇති විය යුතුයි. අපි සත්‍යය කතා කරලා, කණගාටුව ප්‍රකාශ කරලා, සමාව අරගෙන බොහෝ වැඩ කටයුතු අවසන් කළ යුතුයි. දකුණු අප්‍රිකාවේ කළේ එහෙමයි.

සෑම කෙනෙකුටම නඩු දාන්න ගියේ නැහැ. ඔවුන් සත්‍යය ප්‍රකාශ කරලා, කණගාටුව ප්‍රකිශ කරලා, සමාව අරගෙන එම වැඩකටයුතු අවසන් කළා. නඩු ඇසීමට ගියොත් අවසානයක් නැහැ. විශාල තුවාලයක් පමණයි තිබෙන්නේ. මේ තුවාලය දිගින් දිගට පෑරීමෙන් කිසිදු සෙතක් නෑ. මේ වන විට දෙපාර්ශවයෙන්ම නඩු දමා අවසන්. දැන් තිබෙන්නේ සත්‍ය කතා කර, කණගාටුව ප්‍රකාශ කර, සමාව ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යාමටයි.

අපිට උතුර හදන්නට තිබෙනවා. එය කඩා වැටෙන්න දෙන්නට බැහැ. අප අතර සංහිදියාව ඇතිවිය යුතුයි. දැන් එය ඇති වී තිබෙනවා. අපි බය නැතුව මේ ප්‍රශ්නවලට මුහුණ දී ඒවා අවසන් කර ඒ ගමන යා යුතුයි.

දෙමළ, සිංහල, මුස්ලිම් සෑම දෙනාම මෙතනට අද එකතු වී සිටිනවා. ඉරණමඩු වී අස්වැන්නෙන් සහල් ලබාගෙන කෑමට ගන්නේ බොහොමයක් සිංහල ජනතාවයි. අවශ්‍ය පමණට වඩා වී නිෂ්පාදනය වීමෙන් වී මිළ අඩු වූ විට සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ගොවීන්ටත් ඉන් බලපෑමක් ඇතිවෙනවා. සාමකාමීව ප්‍රශ්නය විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *