ටේබල් ටෙනිස් අතුරු කමිටුවක් එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තීණය කරයි.

ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ මතුව ඇති මූල්‍ය අක්‍රමිකතා හා අකාර්යක්ෂම පරිපාලනය පිළිබඳ ලැබුණු පැමිණිලි සලකා, හය දෙනකුගෙන් යුත් අතුරු කමිටුව ගැසට් මගින් ප්‍රකාශ කිරීමට කටයුතු යොදා ඇත. නිලවරණය පවත්වන තුරු එම අතුරු කමිටුවට දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් නම්කොට ඇතැයි වාර්තාවේ.

වසර 4ක් තිස්සේ නිලවරණ නොපවත්වා ටේබල් ටෙනිස් පරිපාලනය එකම පිරිසක් විසින් පවත්වාගෙන යෑම හා ජාතික ටේබල් ටෙනිස් ශූරතා කලට වේලාවට නොපැවැත්වීම පිළිබඳ පැමිණිලි රාශියක් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී තිබුණු අතර පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ජාතික ශූරතාවලිය මෙතෙක් නොපැවැත්වීම සම්බන්ධව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ද චෝදනා එල්ලවී තිබිණි. ටේබල් ටෙනිස් සංගමයට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයෙන් වසර 2017දී ලැබුණු අමෙරිකානු ඩොලර් 10000ක ගංවතුර මූල්‍යාධාර විපතට පත්වූවන්ට බෙදා නොදී ගිණුමේ පවත්වාගෙන ගොස් තිබීම ද චෝදනාවකි.

පසුගිය වසරේ පැවැති ජාත්‍යන්තර ටේබල් ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩකයකු අවසන් මොහොතේ සහභාගී නොවීම හේතුවෙන් ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයට යුරෝ 5770ක් දඩ මුදලක් ගෙවීමට සිදුව ඇතැත් එහි වගකීම ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ කිසිදු නිලධාරියකු දරා නොමැති හෙයින් ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන තරගාවලි අහිමිවීමේ අවදානමක් හටගෙන ඇතැයිද වාර්තාවී ඇත. එමෙන්ම මාලදිවයිනේ පැවැති දකුණු ආසියා ටේබල් ටෙනිස් ශූරතාවලියට ක්‍රීඩකයන් සිවුදෙනකු සහභාගීකර ඇති අතර ඒ වෙනුවෙන් නවාතැන් ගාස්තු ලෙස අමෙරිකානු ඩොලර් 1200ක මුදලක් සංවිධායක‍ෙන්ට ගෙවීම පැහැර ඇතැයිද ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයට එල්ල වූ තවත් චෝදනාවකි.

ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී තිබූ සියලු පැමිණිලි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා විභාග කොට ඇති අතර නිලවරණය ඉක්මණින් පැවත්වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

පසුගිය වසරේ ටේබල් ටෙනිස් නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, එය නැවැත දැනුම් දෙනතුරු කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය නියෝග කළේය. එම නිලවරණයේදී සභාපති තනතුරට ඉදිරිපත්ව ඇති නාම යෝජනාවකට මතුවූ විරෝධතාවක් හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවිය. සභාපති තනතුරට ඉදිරිපත්ව සිටි මන්සීල් මුතාලිෆ් මහතා විසින් විරෝධතාව තම ප්‍රතිවාදී සභාපති ධූර අපේක්ෂක ලලිත් ලියනගේ මහතාට එරෙහිව ඉදිරිපත් කළ අතර එය ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විමර්ශනයකට ලක් කළේය. ලලිත් ලියනගේ මහතා ජාතික මට්ටමේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු නොවන බව මුතාලිෆ් මහතාගේ පැමිණිල්ලේ දක්වා තිබිණි. එබැවින් ජාතික ක්‍රීඩා සංගම් නියෝග අනුව ලියනගේ මහතාට සභාපති තනතුර සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ නොහැකි බව පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත. ජාතික ක්‍රීඩා සංගම් නියෝග අනුව සභාපති තනතුරට නාම යෝජනා ලබාදීමට නම් ඔහු හෝ ඇය එම ක්‍රීඩාවේ ජාතික මට්ටමේ ක්‍රීඩා කිරීම අනිවාර්ය කොට ඇත. එහෙත් ලියනගේ මහතා ජාතික ඔලිම්පික් කමිටුව මගින් පවත්වන ලද උසස් ක්‍රීඩා කළමනාකාරී ඩිප්ලෝමාව හදාරා ඇති අතර උපාධි කිහිපයක් සමත්වූවෙකු බවට තර්කයක් ගොඩනැගී ඇත.

තවද, ලියනගේ මහතා ජාතික ප්‍රවීණයින්ගේ ටේබල් ටෙනිස් තරගාවලියට සහභාගීවී ඇති බව සහතික මගින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී ඇතැයි වාර්තා වේ. පසුගිය කාලයේදී වැඩ බලන සභාපතිවරු කිහිපදෙනකු යටතට පත්වීමද පාරිපාලනය අකර්මන්‍යවීමට බලපෑ ප්‍රධාන හේතුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *