(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සෙන්චූරියන් හිදී ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 113ක ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වූයේ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනිමිනි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කලකට පසුව දැක ගැනීමට හැකිවූ ආක්‍රමණශිලී පන්දු යැවීම හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 251කට සීමා කිරීමට හැකිවුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ලකුණු 113ක පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. දකුණු අප්‍රිකාව ලබාදුන් ලකුණු 252ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ලකුණු 138කට දැවී ගියේ ඕවර 32.2කදීය.
ඊයේ තරගයේදීත් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට අවස්ථාවක් නොදුන් දකුණු අප්‍රිකානු ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා වන කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි ලකුණු 29ක් තුළ ආරම්භක පිතිකරු යුගලය යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුහ. නිරෝෂන් දික්වැල්ල ලකුණු 6කට දැවී ගිය අතර උපුල් තරංග වෙනුවට ඊයේ තරගයට එක්ව සිටි අවිශ්ක ප්‍රනාන්දුට හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කරමින් ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි. ලකුණු 52ක් වෙද්දී කුසල් ජනිත්ගේ (8) ඉනිම නිමා කිරීමට සමත්වූ ඇන්රිච් නෝජේ ඉන් නොනැවතී ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනැගූ කුසල් මෙන්ඩිස් සහ ඕෂඳ ප්‍රනාන්දු ද යළි නරඹන්නන් බවට පත් කළේය. සිවුවැනි කඩුල්ලට මෙන්ඩිස් සහ ඕෂද අතර ගොඩනැගුණු ලකුණු 40 සබඳතාව නෝජේගේ පන්දු රැකීම හමුවේ බිඳ වැටුණේ මෙන්ඩිස් දුවද්දි දැවී යෑමට හසුවීමෙනි. නෝජේ යැවූ ඊළඟ ඕවරයේදී ඕෂද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. මෙන්ඩිස් පන්දු 31කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 24ක් රැස්කළ අතර පන්දු 45කට මුහුණදුන් ඕෂද හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් රැස් කළේය.
මුළු ලකුණු 116දී 6 වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා (15) දැවී ගිය අතර ඉනිම ගොඩනැගීමට උත්සහ කළ තිසර පෙරේරා දැවී යෑමත් සමග අවසන් කඩුලු 4 ලකුණු 4ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. තිසර පන්දු 23කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 23ක් රැස් කළේය. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා කඩුලු 3ක් දවාගත් අතර ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝජේ සහ ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
ශ්‍රී ලංකා පිලේ ඇරැයුමෙන් දකුණු අප්‍රිකානු ඉනිම ඇරැඹු ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්රික්ස් සමග එක්ව පළමු කඩුල්ලට පන්දු 87කදී ලකුණු 91ක සබඳතාවක් ගොඩනගමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ නිමිති පහළ කළද අවසන් කඩුලු 6 ලකුණු 31ක් තුළ දවා ගනිමින් ඉනිම ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. පළමු කඩුල්ල ලෙස ලකුණු 29ක් ලබාසිටි හෙන්රික්ස් දවා ගැනීමට නායක ලසිත් මාලිංග සමත්වූ අතර වේගවත් පිතිහරඹයක නිතරවූ ඩි කොක්ගේ ඉනිම ශතකයට ලකුණු 6ක් පසුපසින් සිටියදී නතර කිරීමට තිසර පෙරේරාට හැකිවිය. හතරේ පහර 17ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ඩි කොක් වැය කළේ පන්දු 70ක් පමණි. ඔහු පන්දු 36කින් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරනවිට හතරේ පහර 12ක් එල්ලකර තිබිණි. ඊයේ සිය දෙවැනි කඩුල්ල ලෙස රසී වෑන් ඩර් ඩුසෙන් (2) දවාගත් තිසර පෙරේරා කෙළින්ම කඩුල්ල බිඳ දමමින් නායක ෆෆ් ඩු ප්ලෙසි පිටියෙන් ඉවත් කළේ ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසිනි. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 220ක් වූ අතර ප්ලෙසි පන්දු 66කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 57ක් රැස්කර තිබිණි. ඔහු දැවී යෑමට පෙර වියාන් මුල්ඩර් සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 39ක් සහ 5වැනි කඩුල්ලට ඩේවිඩ් මිලර් සමගින් ලකුණු 44ක් එක්කර තිබිණි. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ වියාන් මුල්ඩර් ලකුණු 17කට දැවී ගියේ සිවුවැනි කඩුල්ල ලෙසිනි. ප්ලෙසි දැවී යෑමත් සමග පසුපෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. මිලර් පන්දු 36කින් ලකුණු 25ක් රැස්කළ අතර ඔහු ස්ටම්ප් කිරීමට හසුකර ගැනීමට දික්වැල්ල සමත්වූයේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේය. පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3ක් දවාගත් අතර ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කරමින් ආරම්භක පිතිකරු උපුල් තරංග වෙනුවට වසර 3කට පසු අවිශ්ක ප්‍රනාන්දු කැඳවා තිබූ අතර ලක්ෂාන් සඳකැන් වෙනුවට වේග පන්දු යවන කසුන් රාජිත එක්කර තිබිණි. දකුණු අප්‍රිකාව එක් වෙනසක් කරමින් ඩ්වේන් ප්‍රිටෝරියස් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩිල් පෙලුක්වායෝ කැඳවා තිබිණි.
දෙපිල අතර තෙවැනි එක්දින තරගය 10 වැනිදා ඩර්බන්හිදී පැවැත්වේ.