සංචාරක ප්‍රවර්ධනයට කැබිනට් අනු කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහනදායී ක්‍රම යටතේ මුල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයට, හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අයත් ව්‍යාපාරිකයන් සමඟ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දීය. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඕනැම ස්ථානයකට ආරක්ෂාව අවශ්‍ය නම් එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් නැගීසිටිමින් තම ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සියලුදෙනාට අවශ්‍ය පහසුකම් සහ සහයෝගය නොඅඩුව ලබාදෙන බව වැඩිදුරටත් පැවසීය.

රටේ ඇති වූ මෙම අයහපත් තත්ත්වය සමනය කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ හොටල් ක්ෂේත්‍රය ඇතුළු ව්‍යාපාර යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව ද අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, ඉරාන් වික්‍රමරත්න, රංජිත් අ’ථවිහාරේ යන මහත්වරුන් ඇතු’ථ මැති ඇමතිවරු රැසක් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *