සුවසැරිය සේවාව වසර 3කදී රෝගී ජීවිත 20,000ක් බේරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ‘1990 -සුවසැරිය ගිලන් රථ සේවාව ”ආරම්භයේ සිට මේ දන්වා වසර තුනක කාලය තුළ රෝගී පුද්ගලයන් 20,000 කගේ පමණ ජීවිත බේරා ගත් බව සුවසැරිය නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

1990 – සුවසැරිය සේවාවට නවතම ඇප් සේවාවක් එක් කරමින් රාජගිරිය පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (08) ප්‍රකාශ කෙළේය. සුවසැරිය හදිසි මෙහෙයුම් කළමනාකරණ නවතම පද්ධතිය ද මෙහිදී හඳුන්වාදීම සිදු කෙරිණ.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

අමෙරිකාව, එංගලන්තය, ජපානය රටවලට වඩා දියණු සේවාවක් සුවසැරිය මඟින් මෙරට ජනතාවට සැපයෙනවා. ලංකාවේ තිබෙන කාර්යක්ෂම සේවාව බවට සුවසැරිය සේවාව පත්ව ඇති බව මා විශ්වාස කරනවා.

සුවසැරිය කාර්ය මණ්ඩලයේ සතුට ඉහවහා ගිය දවසක් අද. රෝගීන් වෙත පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මේ සේවාව ආරම්භ කරන විට මෙතරම් දුරක් ඒමට හැකි වේවි කියලා අපි සිතුවේ නැහැ. පළාත් 8 ක් ආවරණය වන පරිදි ගිලන් රථ 258 අදාළ පොලිස් ස්ථානවල ස්ථානගත කර තිබෙනවා. ගිලන්රථ 300 ක් රටටම ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පොලිස් ස්ථානවල මේ සේවාවට අවශ්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා එක් ස්ථානයකට රුපියල් මිලියන දෙකක මුදලක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. අගෝස්තු, සැප්තැම්බර් මාස වන විටදි මධ්‍යස්ථාන 100 ක් ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා. ඉතිරි මධ්‍යස්ථාන 200 හැකි ඉක්මණින් සාදා නිම කරනවා. නැඟෙනහිර පළාතට අවශ්‍ය ගිලන් රථ සේවාව මේ මස අවසන් වන විටදි ආරම්භ කරනවා. එම පළාතට ලබාදීමට ප්‍රමාද වූයේ මේ කලබල නිසායි. මේ කලබල අවසන් වෙනවාත් සමඟ නැඟෙනහිර පළාතටත් අවශ්‍ය සේවාව ලබා දෙනවා. එවිට රටම ආවරණය වන පරිදි සුවසැරිය සේවාව ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත තුළ විනාඩි 8 ක කාලයක් තුළදි රෝගීයා සිටින ස්ථානයට ගිලන්රථයක් ගමන් කරනවා. රෝගියාවට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් රෝහල් ගත කිරීම නිසා බොහෝ රෝගීන්ගේ ජීවිත මේ වන විට බේරා ගැනීමට අපේ කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී තිබෙනවා. අද ආරම්භ කළ ඇප් සේවාව දැනට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වලට ලබාගත හැකියි. ඉදිරි සති දෙකක කාලය තුළදි අයි ෆෝන්වලට අවශ්‍ය ඇප් එක ලබාදීමට පියවර ගන්නවා. දරු උපත් 81 ක් මෙම ගිලන්රථ සේවාව තුළ දී ආරක්ෂිතව සිදු කර තිබෙනවා. මවත් දරුවාත් ඉතා ආරක්ෂාකාරීව රෝහල් ගත කිරීමට අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලාංකික තරුණ දරුවන් 1428 කට පමණ මෙමඟින් රැකියා අවස්ථා හිමි කර දීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

”ආරෝග්‍යා පරමාලාභා – සන්තුෂ්ටි පරමං ධනං” ධම්ම පදයේ එන ගාථාවට අදාළව අපගේ සේවාව පවත්වාගෙන යෑමෙන් ගොඩක් පින් රැස් කර ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එම වදන මහ පොළොවේ ක්‍රියාවට නංවමින් රෝගීන්ගේ ජීවිත අපි සුරක්ෂිත කරනවා. මෙරට ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට සුවසැරිය සේවාව පත්ව තිබීම අපිට ආඩම්බරයක්. සුවසැරිය සේවාව රෝගීන් වෙත පැමිණීමේ වේගය මිනිත්තුවකින් වැඩි කර ගැනීම මඟින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සියයට 10 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය සහ සුවිශේෂී 1990 ජංගම දුරකථන ඇප් සේවාව හඳුන්වාදීම මඟින් පෙන්නුම් කරන්නේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම තවදුරටත් සංවර්ධනය කිරීමට මේ සේවාව තුළ තිබෙන කැපවීමයි. ඉන්දියානු රජය මඟින් ලංකාවට ලබා දුන් යළි නොගෙවිය යුතු ප්‍රදානයක් භාවිතා කරමින් මේ සේවාව ආරම්භ කළා. මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ඉන්දීය ජනතාව විසින් සිදු කළ මෙම කාරුණික පරිත්‍යාගය සඳහා අපි ස්තුතිවන්ත විය යුතුයි. මෙම සේවාව රට පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබා දුන්නා. පාර්ලිමේන්තු පනතක් මඟින් සුවසැරිය පදනම මේ වන විට ආරම්භ කර තිබෙනවා. 2019 මැයි 3 වැනිදා වන විට සුවසැරිය සේවාවට දුරකථන ඇමතුම් 1,057,571 ක් ලැබී තිබෙනවා. මෙම දුරකථන ඇමතුම්වලට අදාළ හදිසි අවස්ථාවන් සඳහා ගිලන් රථ 199,997 ක් පිටත් කර යවා තිබෙන අතර 174,555 ක් රෝහල්ගත කර තිබෙනවා.

කොළඹ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සේවය කරනුයේ Sri Lanka society of Critical Care and Emergency Medical හි වෛද්‍යවරුන් ය. රට පුරා ව්‍යාප්තව ඇති පොලිස් ස්ථාන මෙම සේවාව සමඟ සෘජුවම සම්බන්ධ වී තිබේ.

මෙම අවස්ථාවට සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති දුමින්ද්‍ර රත්නායක, සුවසැරිය ගිලන්රථ සේවාව ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහත්වරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *