(කොළඹ, ලංකාපුවත්) –සිංහල බෞද්ධ මවුවරුන් 4,000කට අධික පිරිසක් වඳභාවයට පත් කළ බවට තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු වන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බවට ඊයේ (23) පළ වූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් එවැනි කිසිදු විමර්ශනයක් ශ්‍රී ලංකා පොලිසිය යටතේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ සිදු නොවන බවත් මෙම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම මාධ්‍ය වාර්තාව සමාජයට බොරු කටකතා පතුරුවා හැරීම අරමුණු කරගෙන පළ වූ පුවතක් බවත් මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජයට විශාල ගැටලුවක් වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
එම මාධ්‍ය වාර්තාවේ පළ වන ආකාරයට මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමකට භාජනය වන විට සැකකාර වෛද්‍යවරයා සූක්ෂ්මව මවුවරුන්ගේ පැලෝපීය නාළ ගැටගසා ඔවුන් වඳභාවයට පත් කර ඇත. මෙහි සත්‍යතාව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතාගෙන් විමසූ විට වෛද්‍යවරයා පැවසුවේ එවැනි ශල්‍යකර්මයක් කාර්ය මණ්ඩල සහායකින් තොරව කිසිසේත් සිදු කළ නොහැකි බවයි. එමෙන්ම මවුවරුන් 4,000කට එම වඳභාවට පත් කිරීමේ ශල්‍යකර්මය කළේ නම් මේ වන විට එම මවුවරුන් දරුවන් නොමැති වීම නිසා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් හමු වීමට හැකියාව පවතින බවත් නමුත් මේ වන තෙක් කිසිවකු වෛද්‍යවරුන් හමු වී නොමැති බවත් එනයින් මෙම පුවත පිළිබඳව සැකයක් මතු වන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.