ඝාතන, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් රාජපක්ෂ යුගයේ අපරාධ 6ක් ගැන විමර්ශන ගොනු 23ට පෙර බාර දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී සිදු වූ ඝාතන, පැහැරගැනීම් සහ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ ප්‍රධාන සිද්ධීන් 06ක් සම්බන්ධයෙන් විධිමත් කරුණු 11ක් යටතේ එක් එක් සිද්ධියට අදාළ විමර්ශන ගොනු වෙන වෙනම සකස් කර ලබන 23 වැනිදාට හෝ ඊට පෙර ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන විමර්ශන 05ක් සම්බන්ධයෙන් වාර්තා ප්‍රමාදයකින් තොරව සිය දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස නීතිපතිවරයා පසුගිය අගෝස්තු 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබිණි. තවත් එක් සිද්ධියක්ද එම විමර්ශන 05ට අමතර වශයෙන් එකතු කර කරුණු විමසීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධිය, සහන සේවයේ යෙදුණු 17ක් ඝාතනය කිරීමේ සිද්ධිය, තරුණයින් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය යන සිද්ධිවලට අදාළ විමර්ශනවලට අයත් කරුණු වෙන වෙනම ගොනු වශයෙන් සකස් කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කිරීම සඳහා උපදෙස් ලද දිනය, විමර්ශන ආරම්භ කළ දිනය, විමර්ශනයේ වර්තමාන තත්ත්වය, විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු, සැකකරුවන්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හා දේපළ පිළිබඳ විස්තරය, අධිකරණයට වාර්තා කළ දිනය, අධිකරණය හා නඩු අංකය, විමර්ශන සම්බන්ධව අධිකරණයෙන් ලබා දී ඇති නියෝග හා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල වර්තමාන තත්ත්වය, සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් අනාවරණය කරගෙන තිබේද, එම සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද සහ තවදුරටත් සැකකරුවන් අනාවරණය කරගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට තිබේද, අදාළ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කරගෙන ඇත්ද යන්න සහ තවදුරටත් අනාවරණය කරගත යුතු සාක්ෂි ඇත්නම් ඒවා මොනවාද, විමර්ශන කටයුතු සම්බන්ධ නීතිපති වෙත ගොනු යවා උපදෙස් ලබාගෙන ඇත්ද, එසේ ඇත්නම් උපදෙස් අනුව වැඩ කටයුතු කර ඇත්ද සහ තවදුරටත් කටයුතු කිරීමට ඇත්නම් එය සම්බන්ධ සංක්ෂිප්ත විස්තරයක්ද, නීතිපතිවරයා උපදෙස් ලබා දී නැත්නම් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, විමර්ශන මේ දක්වා අවසන් කිරීමට හැකි වී නැත්නම් ඊට හේතු, විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන සාධාරණ කාල සීමාව යන කරුණු 11ට අදාළව එක් එක් සිද්ධියට අදාළව ගොනු සකස් කරන ලෙස ඉල්ලා තිබේ.

නීතිපතිවරයා පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ඉහත විමර්ශන සිද්ධීන් අතරින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය හැර අනෙක් සිද්ධීන් පහ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසය. එම විමර්ශන පහ පිළිබඳව වන ලිපිය පොලිස්පතිවරයා වෙතද යොමු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *