බුද්ධි අංශ සවිමත්කර ජාතික ආරක්ෂාව තහවුරු කරනවා – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය ජාතික ආරක්ෂාවට බාධා කරන ත්‍රස්ත හෝ වෙනත් සංවිධානයකට කිසිදු ආකාරයකින් අත පෙවීමට නොහැකි වන පරිදි ප්‍රබල බුද්ධි අංශයක් බවට පත් කරමින් ප්‍රමුඛස්ථානයකට ගෙන එන දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක් කරන විශේෂ සැලසුමක් සකසන බව 23වන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වසර තිහක කාලයක් පුරා මේ රටේ පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ අවසන් මානුෂීය මෙහෙයුමේ අති දැවැන්ත කොටසක් බාර ගෙන කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අත් දැකීම් ද මෙම අවස්ථාවේ සිහිපත් කරමින් කියා සිටින්නේ එම ත්‍රස්තවාදය තුරන් කිරීමේ අවසන් මෙහෙයුමේ විජයග්‍රහණය කිරීමේ ප්‍රබල කොටසක් ඉටු කළේ යුද්ධ හමුදා බුද්ධි අංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවල මඟ පෙන්වීම මත බවයි. විශේෂයෙන් ත්‍රස්තවාදී නායකයන් සැඟවී සිටි ස්ථාන පවා සොයා ගනිමින් ඔවුන්ගේ ඉදිරි සැළසුම් සියල්ල හෙළි කරගත් ප්‍රබල හමුදා බුද්ධි අංශ සිටි රටක් ඒ ආකාරයෙන් ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් තුරන් කළා සේ තවත් ඉදිරියේදී කිසිදු ආකාරයකින් මෙරටට ත්‍රස්තවාදය ඇතුළු බාහිර බලවේග කිසිවකටත් ජාතික ආරක්ෂාවට බාධාවක් වනආකාරයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් ඇති නොවන පරිදි හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බවයි.

මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේදී බොහෝ විට හමුදා බුද්ධි අංශවල අභ්‍යන්තර වෙනස් කම්ද සිදු විය හැකි බව ද පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ආරක්ෂාවේ දැඩි වගකීමක් බුද්ධි අංශ වෙත පැවරී ඇති බව ද කියා සිටියේය.

මෙම බුද්ධි අංශ ප්‍රතිසංවිධාන කටයුත්තේ දී සියලු ආරක්ෂක බුද්ධි අංශ සමඟ තිබිය යුතු අන්‍යෙන්‍ය සම්බන්ධතාව සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ තිබිය යුතු සම්බන්ධතාවද ශක්තිමත් කිරීමට කටයුතු කෙරේ. හමුදාපතිවරයා පවසා සිටින්නේ සියලු ආරක්ෂක අංශ බුද්ධි අංශ සහ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සබදතාව දැඩි ලෙස ශක්තිමත්ව තිබිය යුතු බවත් බුද්ධි අංශවල කාර්යක්ෂමතාව හරහා කිසිදු බලවේගයකට ජාතික ආරක්ෂාවට බාධාවක් කළ නොහැකි බවත්ය.මේ හරහා හමුදාපතිවරයා වශයෙන් බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි කරමින් අවශ්‍ය පරිදි භට පිරිස් යොදමින් බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරන බවයි.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වන ආකාරයට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තම ප්‍රථම වගකීම වන අතර ජනාධිපතිවරයා තමා එම තනතුරට පත් කළේ තමා කෙරෙහි යම් විශ්වාසයක් ඇතිව බව පවසන යුද්ධ හමුදාපතිවරයා තමා පත්වීමට විරුද්ධ වන දෙස් විදෙස් විවිධ කණ්ඩායම් එසේ විරුද්ධ වීම තම වගකීම් ඉෂ්ට කිරීමට කිසිසේත් බාධකයක් නොවන බවයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ආරක්ෂක සමුළුව 2019 සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *