(කොළඹ, ලංකාපුවත්) –එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා තුන්වැනි ජාතික මහා ප්‍රදර්ශනය සැප්තැම්බර් 07 වැනිදා ජනාධිපති – අගමැති ප්‍රධානත්වයෙන් යාපනයේ දී විවෘත කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
පළමු හා දෙවැනි අදියර ලෙස මීට ප්‍රථම මොනරාගල හා අනුරාධපුරයේ පැවැති එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තුන්වැනි අදියර මෙලෙස සැප්තැම්බර් 07 සිට 10 දක්වා දින හතරක් යාපනයේ පැවැත්වෙන බව ද මුදල් ඇමැතිවරයා කීය.
කොළඹ කොටුව මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
කෘෂිකර්මාන්තය, කර්මාන්ත, ධීවර හා සංචාරක සේවා පදනම් කරගත් යාපනය අර්ධද්වීපයේ නව ව්‍යවසායකයන් විශේෂයෙන් තරුණ තරුණියන් අතුරින් ව්‍යවසායකයන් බිහි කිරීම මේ ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ වී ඇතැයි මංගල සමරවීර මහතා කීය.
මෙහි දී පොදු ජනතාවගේ නිවාස සෞඛ්‍ය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සුබසාධන හා පොදු යටිතල පහසුකම් නංවාලීම පිළිබඳව ද විශේෂ උනන්දුවකින් යුතු දැනුම්වත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු පැවැත්වෙන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු හා උතුරේ ජනතාවගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ප්‍රධාන පිරිසක් ද මේ අවස්ථාවට එක්වන බව මංගල සමරවීර මහතා කීය.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන දෙපාර්තමේන්තු රාශියක් මෙහි දී තම සේවා ජනතාවට ලබාදීම සඳහා එක්වන බවත්, එය උතුරේ ජනතාවට දිගු කාලයකින් ලැබෙන මහඟු අවස්ථාවක් වන බවත් ඇමැතිවරයා පැවැසීය.
මේ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. ඒ. විමලේන්ද්‍රරාජා, ගම්පෙරළිය මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ රන්සිරි පෙරේරා , එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි එම්. ටී. පෙරේරා යන මහත්වරු ද සහභාගි වී සිටියහ.