ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව අවශ්‍යව සිටි තවත් සැකකරුවෙකු අද(27) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම 00.15ට පමණ සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාර දී ඇත.

කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගප්පූරුවට ගොස් තිබු අතර, ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබිණි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළ නඩුව අද දින ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

මෙම සිද්ධියට අදාළව මෙම සැකකරු ද සමඟ මේ වන විට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු හැර තවත් සැකකරුවන් 4 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර සැකකරුවන් 3ක් ඇප මත සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *