සජිත්ගේ ප්‍රතිපත්ති 31වනදා මහනුවර දී එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීම මෙම 31 දා මහනුවර දී සිදු කෙරෙන බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එහි මුල් පිටපත සජිත් ප්‍රේමදාස මහතා මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හී මහා නාහිමිවරුන්ට ද පිළිගැන්වීමට කටයුතු යොදා තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස මහනුවර උඩපේරාදෙණිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජනහමුවක දීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. පසුගිය රජය රට පාලනය කළේ බලෙන්. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදා ජනතාව මර්දනයෙන් තමා රට පාලනය කළේ. මේ අය නැවත බලයට ආවොත් රටේ මිලිටරි පාලනයක් ඇති වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරු වෙන්නේ හමුදා නිලධාරීන්. දිසාපතිවරු, ආණ්ඩුකාරවරු හා පාර්ලිමේන්තුවට පත්වෙන්නෙන් හමුදා නිලධාරීන්. මේක තමයි ඒ අයගේ දර්ශනය. මේ තත්ත්වය රජයේ සේවකයන් තේරුම් ගන්න ඕනේ.

අද මාධ්‍යයෙන් වැඩියෙන්ම බනින්නේ අපිටයි. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් කටයුතු කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකවරයකුගේ මැතිවරණ ප්‍රකාශය මෙවර මහනුවර එළිදක්වනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ මැතිවරණ ප්‍රකාශය එළඹෙන 31 දා මහනුවර එළි දක්වනවා. එය මහනුවර සියලුදෙනාට කරන විශාල ගෞරවයක්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි. ඒ නිසා සියලුදෙනාට මේ දර්ශනය රැගෙන යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *