සහරාන්ගේ අනුගාමිකයින් සොයා තමිල්නාඩුවේ ස්ථාන 6ක් සෝදිසි කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයින්ට අයත් බව සැළකෙන තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 06ක් සෝදිසි කිරීමකට ලක් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන් විසින් ඊයේ (31) දිනයේ මෙම සෝදිසි කිරීම් සිදු කර ඇති බවය.

අයි.එස්.අයි. එස් සංවිධානයට සහ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළ මෙම සෝදිසි කිරීම් සිදුකර ඇත.

මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සෝදිසි කිරීම් සිදුකර ඇති බව, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සදහන් කරයි.

සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ලැප්ටොප් පරිගණක 02ක්, ජංගම දුරකථන 08ක්, සිම්කාඩ් පත් 05ක්, එස්.ඩී කාඩ්පතක් සහ විවිධ ලේඛණ 14ක් සොයා ගෙන ඇත.

2014 සිට ඉන්දියාව පුරා අයි. එස් හිතවාදීන් 127 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් 33 දෙනෙක් තමිල්නාඩුවෙන් පැමිණි බවත් අනාවරණය කර ගෙන ඇතැයි වාර්තාවේ.

අප්‍රියෙල් 21 වන දින ශ්‍රී ලංකාව දෙදරුම් කෑ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *