පාස්තු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවිය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව ආරක‍්ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කඩිනමින් හෙළි කර ගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක‍්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක‍්ෂණ කොමිසමේ සාමාජිකයන් ඊයේ(02) හමුවූ අවස්ථවේදී මෙම කරුණු අනාවරණය විය.

පරීක‍්ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලුහුඬින් සඳහන් කළේය. ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතළ ලෙස සැළකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය. මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බව ද විනිසුරුවරයා පැවසීය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක‍ෂ මහතා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂය ද එය බව කීය. ‘මා ආරක‍්ෂක ලේකම්වරයාව සිටිය දී ආරක‍්ෂක මණ්ඩලය නිතිපතා රැස් වුණා. බුද්ධි අංශ නිලධාරීන් සමඟ ආරක‍්ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡා කළා. ආරක‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත්තා. පිටරටවලින් පැමිණ අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටි දේශකයන් 160ක් පිටුවහල් කළේ ඒ අනුව.‘ ජනාධිපතිතුමා කීය.

පසුගිය පාලන සමයේ දී ජාතික ආරක‍්ෂාව පිළිබඳ ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳවැටුණු බව පෙන්වාදුන් ජනාධිපතිතුමා, එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිතකිරීම නතර කිරීමට නොහැකි විනැයි පැවසීය. ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගන්නා අතර, මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කළේය. ආරක‍්ෂක යාන්ත්‍රණය බිඳවැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කර ගත යුතු යැයි ජනාධිපතිතුමා කියා සිටියේය.

කොමිසමට අවශ්‍ය පහසුකම් සැලසීමට එතුමා එකඟත්වය පළ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක‍්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරී සෙසු සාමාජිකයෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *