උපාධිධාරීන් 54000කට රජයේ රැකියා වරම්

(කොළඹ, ලංකාපුවත්) – ලබන ජනවාරි මාසය වන විට රැකියා විරහිත උපාධිධාරීන් 54,000ක් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඒ සඳහා මූලික කටයුතු අරඹා තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී ජනතාව වෙත රජයේ රැකියා 100,000ක් ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නැංවෙන බවත් ඇමැතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියේ බඳවා ගැනීම් සඳහා සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම සුදුසුකමක් ලෙස සැලකෙන අතර එබැවින් සාමාන්‍ය පෙළ අසමත් පිරිසට රජයේ රැකියාවලට යොමුවීමේ ඉඩකඩ ඇහිරී තිබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව වෘත්තිය හෝ අධ්‍යාපන නිපුණතාවක් අවශ්‍ය නොවන රැකියා පුරප්පාඩු සඳහා අඩු ආදායම්ලාභී පවුල් වෙත අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවත් ඇමැතිවරයා පැවසීය.

මේ වන විට රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියේ බඳවා ගැනිම් සදහා ද අ.පො.ස සාමාන්‍ය පෙළ විෂයයන් හයයි දෙකක් සමත්ව තිබීම අනිවාර්ය වී තිබේ. මේ නිසා අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන්ට රාජ්‍ය සේවයට එක්වීමට නොහැකිව ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ද ආරක්ෂා කර ගනිමින් එවැනි අයට රාජ්‍ය සේවයට ද එක් විමට ඉඩකඩ සලසා දිමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට රජය අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කීවේ ය.

රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ දි කිසිඳු දේශපාලන භේදයක් නොසළකා අදාළ සුදුසුකම් අනුව විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරීමට රජය තිරණය කර ඇතැයි ද රණතුංග මහතා කීවේ ය.

පසුගිය යහපාලන රජය උපාධිධාරින් නොසළකා හැරිය බව පැවසු රණතුංග මහතා උපාධිධාරින්ට රැකියා ලබා දිමේ ක්‍රමවේදයක් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ක්‍රියාත්මක කළ බව පෙන්වා දුන්නේ ය.

උපාධිධාරින් රජයේ සංවර්ධන වැඩසටහන් සදහා ප්‍රායෝගිකව දායක කර ගැනිමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි. රජයේ ආයතනවල පුරප්පාඩු සදහා උපාධිධාරින් බඳවා ගැනිම ප්‍රතිපත්තියක් ලෙස පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සුසංයෝගයෙන් සැදි වත්මන් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරන බව රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *