නිවුන්නු සේ එකට ජීවත් වන ශ්‍රී ලාංකික ජාතියක් දැකීම මගේ ප්‍රාර්ථනයයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව එක රටක උපන්නා නම් නිවුන්නු වාගේ එකටම හිතන, එකටම ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැකීම සිය ප්‍රාර්ථනාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (20) පැවති ශ්‍රී ලංකා නිවුන් සංගමය මඟින් සංවිධානය කළ නිවුන් සංස්කෘතික සංදර්ශනයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. “මම ඉතාමත් ආඩම්බර වෙනවා මේ වාගේ දැවැන්ත නිවුන් ප්‍රජාවක් එක තැනකට ඒකරාශී කිරීම ගැන. අද මෙතන නිවුන් ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, නිවුන් පූජකතුමන්ලා, පූජකවරියන්, නිවුන් ආරක්ෂක නිලධාරීන්, නිවුන් වෛද්‍යවරු, හෙදියෝ සියලු දෙනා ඒකරාශී වෙලා තියෙනවා.

“ඒ වාගේම මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් කියන සියලු ජාතීන්ට අයත් නිවුන්නු ඉන්නවා. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් එක රටක උපන්නා නම් නිවුන්නු වාගේ එකටම හිතන, එකටම ජීවත්වෙන දවස දකින එක තමයි අපේ ප්‍රාර්ථනාව.”

එක් මව්කුස ඉපිද, එකට මෙලොව එළිය දැකීමට වාසනාව ලැබූ නිවුන් සහෝදර සහෝදරියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1996 වර්ෂයේ පිහිටවූ ශ්‍රීලංකා නිවුන් සංගමයේ අද වනවිට සාමාජිකයන් 28,000කි. නිවුන් සහෝදර සහෝදරියන් 8,004කගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වුණු නිවුන් එකමුතුව වැඩිම නිවුන් එකමුතුව ලෙස ගිනස් වාර්තා පොතට එක්ව ඇත. ඊයේ පැවැති මෙම නිවුන් සංස්කෘතික සංදර්ශනයට නිවුන් සහෝදර සහෝදරියන් 12,492ක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *