(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුපාඩුව වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට දියගම පිහිටා ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති භූමි භාගයේ ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාදුක්කේ පිහිටා ඇති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල භූමියේ ඉදි කිරීමට බලාපොරොත්තු වන ජාතික මට්ටමේ ක්‍රීඩාංගණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී වික්‍රමරත්න මහතා ඉහත අදහස් පළ කර සිටියේය. එසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත ක්‍රීඩාංගණය, අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කරළීමේ බලාපොරොත්තුවක් පවතින්නේද යන්න මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී ඒ මහතා මේ පිළිබඳව කරුණු හෙළි කර සිටියේය.
රජයට අයත් දියගම ප්‍රදේශයේ අක්කර ගණනක ඉදිකොට තිබෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 18 ක භූමි භාගයක් ඒ වෙනුවෙන් වෙන්කොට අවසන්ව තිබෙන බව සඳහන් කර සිටි උප සභාපතිවරයා ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියේය.
“මේ ඉදිකරන්න යන ක්‍රීඩාංගණය ජාතික මට්ටමට සරිලන පහසුකම් සහිත ක්‍රීඩාංගණයක්. ඒකෙන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කියන එක අදහස් වෙන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් නම් අවම වශයෙන් අක්කර 17 ක් 18 ක් වත් භූමි ප්‍රමාණයක් තියෙන්න ඕන” යි පවසන උප සභාපතිවරයා, “දිවා/රාත්‍රී තරග පැවැත්වීම සඳහා අපිට කොළඹ තියෙන්නෙ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පමණයි. අපිට විදුලි ආලෝකය භාවිතයෙන් තරග පැවැත්වීම සඳහා පහසුකම් සහිත තවත් ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය පවතිනවා. විශේෂයෙන්ම කොළඹ අවටින්. මං හිතන්නේ ඒ සඳහා තියෙන හොඳම භූමිය තැන තමයි දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට වෙන් කරලා තියෙන භූමි ප්‍රමාණය”යි වැඩිදුරටත් කරුණු දැක්වීය.