ශෂිකලා සිරිවර්ධන ක්‍රිකට් දිවියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ තවත් දින කීපයකින් ආරම්භ වන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මේ බව මාධ්‍ය වෙත සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සිරිවර්ධන හැඳින්විය හැක. ඇය එළඹෙන පෙබරවාරි මස 21 ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ඇත.

ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ‍එක්දින හා විස්සයි විස්ස සංචිතවල ප්‍රබලතම ක්‍රීඩිකාවක් වූ අතර ඇය පිතිකරණයෙන් මෙන්ම පන්දු ‍යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම වගකීම ඉටු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නා ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 98ක් ක්‍රීඩා කර ඇත.

තම ක්‍රිකට් දිවියේ ආරම්භයේ පටන්ම පිතිකරණය හා පන්දු ‍යැවීම යන ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් සැපයීමට ශෂිකලා සිරිවර්ධන සමත් විය. දකුණත් පිතිකාරිනියක් ලෙස හා පිට දඟපන්දු ‍යවන්නියක් ලෙස කණ්ඩායමට ඇයගෙන් ඉටු වූ සේවාව ඉමහත්ය.

සියලු තරග රටාවල දී ඇය දැක්වූ දක්ෂතා නිසාවෙන් ඇය මෙරටින් බිහි වූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 2000 සීමාව හා කඩුලු 100 සීමාව පසු කළ එකම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක්ව ඇත. ඇය එක්දින හා විස්සයි විස්ස තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභිනිය ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *