කොමර්ෂල් බැංකුවේ ePassbook ඇප් සේවාවට ආකර්ශණීය නවාංග එකතුවක්

(කොළඹ, ලංකාපුවත්) – කොමර්ෂල් බැංකුව විසින් සිය කොම්බෑන්ක් ඊ-පාස්බුක් ජංගම දුරකථන ඇප් සේවාව ආකර්ශණීය නවාංග සමග යාවත්කාලීන කර තිබේ. මෙම ඇප් සේවාවට ස්වයංව ලියාපදිංචි වීම සහ ඒ මොහොතේදීම ගනුදෙනු වාර්තා ලබාගැනීම මෙම නවාංග වලට ඇතුළත් වන අතර මේ තුළින් ගිණුම් කළමනාකරණයේ සහ භාවිතා කිරීමේ පහසුව වැඩි දියුණු වන බව බැංකුව සඳහන් කරයි.

මෙම වැඩිදියුණු කිරීම නිසා ගිණුම් හිමියන්ට බැංකු ශාඛාවකට නොගොස් ස්වයං ලියාපදිංචිය මගින් මෙම ඇප් සේවාව සක‍්‍රීය කරගත හැකි අතර එය භාවිතා කරන්නන්ට ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම් තම කොම්බෑන්ක් ඊ-පාස්බුක් ජංගම දුරකථන ඇප් සේවාව මගින් ස්වයංව එකතු කර ගැනීමට, ඉවත් කර ගැනීමට සහ සමූහගත කිරීමට අවස්ථාව ලබාදී ඇත.

මේ සමගම මෙම ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සෑම ගනුදෙනුවකදීම ඒ මොහොතේදී ගනුදෙනු වාර්තා ලැබෙන බව බැංකුව සඳහන් කරයි. මීට අමතරව, මෙම ඇප් සේවාව භාවිතා කරන්නන්ට විශේෂ ගනුදෙනු පිළිබඳව තොරතුරු එම ගනුදෙනුවල දිනය, තොරතුරු හෝ මුළු මුදල ඇතුළත් කිරීමෙන් ක්ෂණිකව බලාගත හැක. එසේම, ගිණුම් හිමියන්ට මෙම ඇප් සේවාව මගින් ක්‍රෙඞ්ට් කාඞ්පත් ණය පිළිබඳ තොරතුරුද දැනුම් දෙනු ඇත.

මෙම ඇප් සේවාවේ නව බයෝමෙටි‍්‍රක් ලොගින් උපාංගය මගින් ගිණුම් හිමියන්ට face ID සහ ඇඟිලි සලකුණ භාවිතා කිරීම මගින් ලොගින් වීමට අවස්ථාව ලබාදී තිබෙන නිසා ඇප් පහසුකම භාවිතා කිරීමට සෑම අවස්ථාවේදීම රහස් වචනය ඇතුළත් කළ යුතු නොවේ.

ගිණුම් හිමියන්ට නොමිලේ ලබාදෙන මෙම ඇප් සේවාව මගින් පසුගිය දින 30 සඳහා ගිණුමේ ශේෂය සහ ගනුදෙනු ඒ මොහොතේම තමන් කොතනක හිටියත් ජංගම දුරකතනයට හෝ ටැබ් පරිගණකයට ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. බැංකුව සඳහන් කරන්නේ භාවිතා කරන්නා අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට කොම්බෑන්ක් පාස්බුක් ඇප් සේවාව ස්වංක‍්‍රීයව යාවත්කාලීන වන බවයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *