ක්‍රීඩා දියුණුවට ඇමැතිට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුව මහේලට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණු කිරීම සංවර්ධනය හා එහි ප්‍රතිපත්ති, ක්‍රීඩා ප්‍රමිතිය ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගා සිටුවිය හැකි ආකාරය පිළිබඳ ඇමැතිවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත් කරයි.

එහි කමිටු සාමාජිකයකු ලෙස හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා නම්කොට ඇති අතර යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද කමිටු සාමාජිකයන් අතර වේ. ජාතික ක්‍රීඩා සභාවට ඒ ඒ ක්‍රීඩාවලට අදාළ ප්‍රවීණයින් 14ක් නම්කොට ඇති අතර නිල වශයෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ අමල් එදිරිසිංහ මහතා පත්ව සිටී.

ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයෝ ඊයේ සවස පත්වීම් ලබා එහි සමාරම්භක රැස්වීමද පැවැත්වූහ.

නව ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුහු සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වන්නෝ වෙති.

මෙතෙක් උපදෙස් පමණක් සැපයූ ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්ය ශූර ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයක් රැසක් අත්කරදීම උදෙසා ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනවයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *