ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පත් කිරීම් තුනක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය (High Performance Center) වෙත නව පත් කිරීම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අනුෂ සමරනායක මහතා ජාතික වේග පන්දු පුහුණුකරු (National Fast Bowling Coach) ලෙසත්, හෂාන් අමරතුංග මහතා ක්‍රීඩා කාර්ය සාධන පෝෂණවේදියෙකු (Sports Performance Nutritionist) ලෙසත්, Jonathan Porter මහතා භෞත චිකිත්සකවරයෙකු (Physiotherapist) ලෙසත් පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සමරනායක මහතා තෙවැනි මට්ටමේ (Level 3) සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන අතර, 2008 වසරේ සිට 2015 වසර දක්වා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහු මාර්තු 6 වැනිදා සිය ධූරයේ වැඩ භාර ගත් බවත් වසර දෙකක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මේ අතර, භෞත චිකිත්සකවරයෙකු ලෙස පත් කෙරුණු Jonathan Porter මහතා මීට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මෙම පත් කිරීම් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *