නවලෝක රෝහල රෝගීන්ගේ සුරක්ෂිතතාව සහ රැකවරණය වෙනුවෙන් JCI ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප‍්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL)ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.

මෙම ප‍්‍රමිතිකරණය ලබා ගැනීම ක‍්‍රියාවලිය දැඩි පිරික්සුම් මැද සිදු වූ අතර රෝහලේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීමද මාස ගණනක් පුරා සිදු කෙරිණ. මේ සඳහා ආයතනයේ විශේෂඥ සමීක්ෂණ නිලධාරීන් අවස්ථා ගණනාවකදී නිර්ණායකයන් ගණනාවක් යටතේ රෝහල නිරීක්ෂණය කළ අතර රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ඉලක්ක, රෝගීන් ඇගයීම සහ රැකබලා ගැනීම, නිර්වින්දනය සහ ශල්‍ය සුවතාව, ප‍්‍රතිකාර කළමනාකරණය, රෝගීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම්වත් කිරීම, තත්වය වැඩිදියුණු කිරීම, ආසදනයන් වැළැක්වීම සහ පාලනය, යහපිළිවෙත් සහ නායකත්වය, පහසුකම් කළමනාකරණය, සේවකයින්ගේ අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් සහ තොරතුරු කළමනාකරණය සලකා ලැබෙන ඇතැම් නිර්ණායකයන් වෙති.

නවලෝක රෝහල හිමිකර ගත් න්‍ක්‍ෂ ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය පිළිබඳව අදහස් දක්වන නවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘නවලෝක රෝහල විසින් අත්පත් කර ගත් මෙම අතිවිශිෂ්ට ගුණාත්මක සුවසේවාව පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. මෙම ප‍්‍රමිතිකරණය මගින් අප විසින් අඛණ්ඩවම සපයනු ලබන ජාත්‍යන්තරව මට්ටමේ සුව සේවාව තවදුරටත් පිළිබිඹු වනවා ඇතැයි අප විශ්වාස කරනවා’’. එමෙන්ම රෝහල් කළමනාකරණයට අදාළ සෑම ඒකකයක්ම ඉතා සුපරික්ෂාකාරීව මෙහිදී ඇගයීමට ලක් වන බැවින් මෙම ප‍්‍රමිතිකරණය අප විසින් හිමිකර ගැනීම තුළ රෝගීන්ගේ ආරක්ෂාව සහ ඔවුන් රැකබලා ගැනීම පිළිබඳව නවලෝක රෝහල සතු කැපවීම යළි යළිත් තහවුරු වෙනවා’’ යනුවෙන් පැවසුවේය.

නවලෝක රෝහල ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා හා ප‍්‍රධාන බහු විශේෂඥතාවයෙන් යුතු රෝහලක් වන අතර නේවාසිකව රෝගීන් වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබා ගත හැකි මෙරට එකම රෝහල ද වේ. එහි සාමාන්‍ය සහ සුඛෝපභෝගී කාමර වශයෙන් රෝගීන්ගේ තෝරා ගැනීම මත නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සලසා ඇත. මීට අමතරව පැය 24 පුරාම විවෘත ඔසුසල, රසායනාගාරය, විකිරණවේදය සම්බන්ධ සේවා, විශේෂිතව වෙන් වූ සුවතා මධ්‍යස්ථාන, දියවැඩියා හා වකුගඩු රෝගීන්ගේ පහසුව සඳහා වෙන් වූ විශේෂිත සුවතා සේවා සහ ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුව ආදී පහසුකම් වලින් නවලෝක රෝහල් ජාලය සමන්විතය.

නවලෝක රෝහල් හා රසායනාගාර ජාලය වේගයෙන් සංවර්ධනය වන සුව සේවා විසඳුම් ලබා දෙන ජාත්‍යන්තර තත්වයේ රෝහලක් වන අතර වඩාත් නවීනතම වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණය සහ උසස් මට්ටමේ ප‍්‍රතිකාර පහසුකම්වලින්ද සමන්විත ජාත්‍යන්තර තත්වයේ සුවසේවා පවත්වාගෙන යන නවීනතම ආරෝග්‍යශාලාවක් ද වෙයි. කොළඹ 7 පිහිටි නවලෝක ප‍්‍රධාන මධ්‍යස්ථානය ඇතුළුව රෝහල සතුව ශාඛා 3කට අධික සංඛ්‍යාවක් ඇත.

නවලෝක රසායනාගාර ජාලය ජාතික වශයෙන් 3000 කට අධික වෛද්‍යවරුන් සංඛ්‍යාවක් වෙත තම සේවය සපයනු ලබයි. එමෙන්ම නවලෝක රසායනාගාර සේවයල සතියේ දින 07 තුළ පැය 24 පුරාම ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිත කරමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව දැරිය හැකි මිලකට සතියකට පරීක්ෂණ 1000 කට අධික සංඛ්‍යාවක් සිදු කරයි.

JCI ප‍්‍රමිතිකරණය යනුවෙන් අර්ථගැන්වෙන්නේ න්‍ක්‍ෂ විසින් සහතික කරනු ලැබූ රෝහලක් සඳහා තිබිය යුතු කාර්යසාධන අපේක්ෂාවන්, ව්‍යුහයන් සහ කාර්යයන් යන අංශවලින් සමන්විත වීමයි. මෙම ප‍්‍රමිතීන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා ඇති අතර ඒ රෝගියා මුල් කරගත් සත්කාර සහ සුව සේවා ආයතන කළමනාකරණය වශයෙනි. ලොවපුරා සිටින සෞඛ්‍ය සේවා විශේෂඥයින් හා සැපයුම්කරුවන් ප‍්‍රමිතිකරණය සම්බන්ධ විශේෂඥයින් සහ රෝගීන් සමඟ සාකච්ඡා කර මෙම ප‍්‍රමිතීන් සකස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *