යුද හමුදාවේ සියලු අංශයන් යාවත්කාලීන කිරීම ආරම්භකර තිබෙනවා – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා යුද්ධ හමුදාවේ සියලු අංශයන් යාවත්කාලීන කිරීම ආරම්භකර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නවීන අවිආයුධ, නව නිළඇදුම් මෙන්ම තාක‍ෂණයට අනුකූලව අන්තර්ජාලය මගින් යුද හමුදා සාමාජිකයින්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පහසුකම්ද වැඩිදියුණු කරමින් පවතී. මෙමගින් මනා පෞරුෂත්වයකින් යුතු යුද්ධ හමුදා සාමාජිකයෙකු බිහිකරගැනීම යුද්ධ හමුදාවේ අපේක‍්ෂාව වී තිබෙන බව හමුදාපතිවරයා සදහන්කරයි.

හෙට(10) දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් හමුදාපතිවරයා මේ බව කියා සිටියි.

යුද්ධ හමුදාධිපති විසින් නිකුත්කළ සුභාශිංසන පණිවුඩය,

‘ජාතියේ අභිමානවත් ආරක‍්ෂකයා‘වශයෙන් මාතෘ භූමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍ය වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ වී 71 වන සංවත්සරය සමරන හෙට(10) දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් මාගේ හෘදයංගම සුභාශිංසන මෙසේ පළකරමි.

වර්ෂ 1949ක් වු ඔක්තෝබර් මස 10 වන දිනශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කල දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතුව සිටි හමුදාධිපතිවරුන්, නිලධාරීන් හා සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලයද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම සංවත්සර දිනයේදී භක්ත්‍යාදරයෙන් සිහිපත් කරමි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය හා ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් දූරදර්ශී නායකත්වයක් සපයන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක‍්ෂ මැතිතුමන්ද ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍්ෂ මැතිතුමන්ද ගරු ආරක‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාද ගෞරව බහුමානයෙන් යුක්තව මේ මොහොතේ සිහිපත් කරමි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාතෘ භූමියට එරෙහි ඕනෑම අභියෝගයක් සදහා මුහුණදීමට සෑම විටම සූදානමින් පෙරමුණේ රැදී සිටියි. මීට වසර 11 කට පෙරාතුව ත්‍රස්තවාදයෙන් රට මුදවා ගනිමින් දිනාදුන් නිදහස මතුවටත් රැකදෙමින් කලින්කල පැමිණෙන විවිධ අභියෝගයන්හා ජාතික ආරක‍ෂාවට බලපාන තර්ජනයන් හදුනාගනිමින් සුදුසු ආරක‍ෂක ක්‍රියාදාමයන් අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ වගකීමක් බවද සිහිපත් කරමි. පසුගිය කාලපරිච්ඡේදය තුළදී අනපේක‍ෂිතව රටතුළ නිර්මාණය වුණු හදිසි තත්වයන්හිදී සහ වර්තමානයේ පැනනැගී ඇතිකොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදීද තම ජීවිතයට ඇතිවිය හැකි තර්ජනයන්ද නොසලකමින් ඔබ විසින් සිදුකරන ලදපරාර්ථකාමී දායකත්වය, උසස් විනයගරුකභාවය, කාර්යක‍ෂම හා ආදර්ශමත් ක්‍රියාකාරකම්ද ශ්‍රී ලංකාවාසී ජනතාව හා විදේශගතව සිට පැමිණෙන්නන් ඉහළින් අගය කරනුලබයි. එසේම සියලුම අපහසුතාවයන් විදදරා ගනිමින් කොවිඩ් මර්දන ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය සහාය නිරතුරුව ලබාදෙන ශ්‍රී ලංකාවාසී ජනතාවටද මාගේ ගෞරවනීය ස්තූතිය පළකරමි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා යුද්ධ හමුදාවේ සියලු අංශයන් යාවත්කාලීන කිරීම ආරම්භකර ඇති අතර, ඉන් නවීන පහසුකම් වලින් සමන්විත යුද්ධ හමුදා මූලස්ථානය ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි.නවීන අවිආයුධ, නව නිළඇදුම් මෙන්ම තාක‍ෂණයට අනුකූලව අන්තර්ජාලය මගින් ඔබගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පහසුකම්ද වැඩිදියුණු කරමින් පවතී. මෙමගින් මනා පෞරුෂත්වයකින් යුතු යුද්ධ හමුදා සාමාජිකයෙකු බිහිකරගැනීම යුද්ධ හමුදාවේ අපේක‍්ෂාව වී තිබෙන බව දන්වමි.

එමෙන්ම රටේ ආර්ථීක, සාමාජීය හා සංස්කෘතික වශයෙන් අපේක‍්ෂිත සංවර්ධන ඉලක්කයන්හිදී පුරවැසියන් ලෙස ඊට සෘජු දායකත්වයක් ලබාදෙමින් ක්‍රියා කිරීම සදහා අප කැපවිය යුතුය. ඊට සමගාමීව යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන‘තුරු මිතුරු නව රටක්‘ ව්‍යාපෘතිය තුළින් රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීම ඇතුළුව සිදුකරන අනෙකුත් ව්‍යාපෘති වෙනුවෙන්ද ඔබගේ සක්‍රිීය දායකත්වය නිරතුරුවම අපේක‍ෂා කරමි.

ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ තවදුරටත් හිමිකරගැනීම සදහායුද්ධ හමුදා ක්‍රීඩකයින්ගේ පහසුකම් වර්ධනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් ජාතික හා ජාත්‍යන්තර තරගාවලි නියෝජනය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමටත්යුද්ධ හමුදාව සතු ක්‍රීඩා යටිතල පහසුකම් පාසැල් හා ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ගේ ප්‍රයෝජනය සදහා භාවිතා කිරීමටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

රටේ ජාතික ආරක‍ෂාව තහවුරු කිරීම, ජනතාවගේ ආරක‍ෂාව තහවුරුකිරීම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය ඉහළ නැංවීම හා යුද්ධ හමුදා සාමාජික ප්‍රජාවේ සුභසාධනය යන සංකල්ප මත යුද්ධ හමුදාව වඩාත් සැලසුම් සහගත මාවතකට යොමුකර ඇති බව සතුටෙන් දැන්වීමට කැමැත්තෙමි. එහි තවත් පියවරක් ඉදිරියට යමින් මෙම 71 වන සංවත්සර දිනයේදී නිලධාරීන් 514දෙනෙකුටත් සෙසුනිලයින් 14140 දෙනෙකුටත් එකවර නිල උසස්වීම් ලබාදීමට හැකියාව ලැබුණ අතර, මා යුද්ධ හමුදාධිපති ධුරයට පත්වූ දින සිට මේ දක්වා නිලධාරීන් 1984 දෙනෙකුටත් සෙසුනිලයින් 41910 දෙනෙකුටත් නිල උසස්වීම් ලබාදීමට හැකිවී තිඛෙන බවද අභිමානයෙන් යුතුව සිහිපත් කරමි. එසේම වත්මන්යුද්ධ හමුදා සාමාජිකත්වය වෙනුවෙන් අවශ්‍යවන මූලික අවශ්‍යතා හා සුභසාධක පහසුකම් වැඩිදියුණු කිරීම හා රණක‍ෂිතයටපත් වීරෝදාර රණවිරුවන්ජීවිත කාලය පුරාම රාජ්‍ය අනුග්‍රහය යටතේ රැකබලා ගැනීමද අප විසින් ආරම්භ කර තිබේ. එසේම මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පූජාකළ රණවිරුවන් හා විශ්‍රාමිකයින්ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද උන්නතිය වෙනුවෙන් කටයුතු රාශියක් සිදුකරමින් පවතී.යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල අයවළුන් සමාජයේ සතුටින්ම ජීවත්වන පිරිස බවට පත්කිරීම මාගේ අපේක‍ෂාවයි.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය පූජාකළ වීරෝදාර රණවිරුවන්ටද සිවිල් කාර්මණ්ඩල සාමාජිකයින්ටද නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර, රණක‍්ෂිතයට පත්ව මේ දක්වා ප්‍රතිකාර ලබන සියලුම රණවිරුවන්ටද ඉක්මන්සුවය පතමි. වර්තමානයේදී සේවයේ නියුතු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ටත් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියැලෙමින් සිටින රණවිරුවන්ටත් සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ටත් ඔවුන්ගේ පවුල්වල ආදරණීය දූ දරුවන්ටත්් මාගේ සුභාශිංසන පළකරන අතර, ඔවුන්හට ප්‍රීතිමත් අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි.

බහුවාර්ගික ජනතාවක් ජීවත්වන රාජ්‍යයක සංහිදියාව හා සහෝදරත්වය පිළිබදව ලෝකයටම ආදර්ශයක් සපයමින් ඔබ සිදුකරනඅමිල මෙහෙවර නැවත වරක් සිහිපත් කරමි. ්රටෙහිත් එහි වාසය කරන ජනතාවගේත් ආරක‍්ෂකයින්‘ වශයෙන් ක්‍රියාකරන අභිමානවත් යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් ජාතියේ සුරක‍ෂිතතාවය හා යහපත් හෙට දවස වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් හා වගකීමෙන් ඔබසැම ක්‍රියාකරනු ඇතැයි මා විශ්වාස කරමි. ඒ සදහා අවශ්‍ය සියලු ශක්තිය, ධෛර්ය, වාසනාව හා ආශිර්වාදය නිරතුරුව ඔබ සැම වෙත ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට සාමය, සතුට පිරි විජයග්‍රාහී අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *