ගම්පහ කොවිඩ් පාලනය යහපත් මට්ටමක

(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව ඊයේ (09) පැවැති සාකච්ඡාවකදී හෙළිවිය.

මේ දක්වා සිදුකල PCR පරීක්ෂණ වලින් ආසාදිත රෝගීන් වාර්තාවීම 8.6% – 3.2% දක්වා අඩුවී ඇති අතර එය කොවිඩ් පාලනය තුළ යහපත් තත්වයක් බවත් ඉදිරි මාසය තුළ එම මට්ටම 2.5% ට අඩු මට්ටමකට පවත්වා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්වන බවත් මේ සදහා දායකත්වය දැක්වූ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකත්වයටත්, සෞඛ්‍ය සේවාවේ සියලු දෙනාටත්, හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියටත් සිය ස්තුතිය පුදකරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ සමා‌ලෝචන වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සදහන් කලාය.

ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 82000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 5589ක් ආසාදිතයින් ලෙස වාර්තාවී ඇත. ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 32ක PCR පරීක්ෂණ 20000ක ප්‍රමාණයක් සිදුකොට ඇති අතර මේවන විට දිනකට ගමපහ දිසතික්කයේ PCR පරීක්ෂණ 2000ක් සිදුකරනු ලබයි. ප්‍රාදේශීය සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග සෞඛ්‍ය නිලධාරී කාර්යාල 16ක සේවය ගම්පහ කොවිඩ් 19 පාලනය සදහා යොදවා ඇත.

කොවිඩ් 19 සදහා ප්‍රතිචාර දැක්වීමේදී ජනතාවගේ සහාය සැලකිය යුතු මට්ටමක නොපවතින බැවින් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය සායන හරහා පමණක් නොව ආගමික නායකයින් හරහා දැනුවත් කිරීම කලයුතු බවත් විශාල වශයෙන් පැතිරී ගිය වසංගත රෝග වළක්වාගත් රටක් ලෙස අප ඉතිහාසගතවී ඇති බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය, කොරෝනා පාලනයද අපට සිදුකල හැකි බැවින් ඒ් සදහා ජනතා සහාය අත්‍යාවශ්‍ය බව සදහන් කරන ලදි. තිහාරිය, කැළණිය සහ වත්තල ප්‍රදේශවල අලුත් පොකුරු බිහිවීමේ ඉඩකඩක් පවතින බැවින් එය පාලනය කිරීම සදහා විශේෂ අවධානයක් දෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කරන ලදි.

ජීවනෝපාය අහිමිවූ නිරෝධායනයට ලක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සදහා සහන සැපයීම සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරිය විමසා බලන ලදි. දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 539543 දෙනෙකු සදහා රුපියල් මිලියන 2697ක් රු.5000/- දීමනාව ලෙස බෙදාදී ඇති අතර නිරෝධායනය වන පවුල් 11028 සදහා රුපියල් 10000/- වියළි සලාක මලුද, හුදකලා ප්‍රදේශවල පවුල් 30546ක් සදහා තවත් රුපියල් මිලියන 92ක් ද රජය විසින් වියදම් කර ඇති අතර නිවෙස් නිරෝධායනය වූ තවත් පවුල් 3702කට රු.2000/- බැගින් වියළි සලාක ලබාදී ඇත. මේවන විට පුද්ගලයින් 25000ක් නිවෙස් නිරෝධායනයට ලක්කර ඇති අතර ඒ සදහා පොලිස් නිලධාරී 500ක් රාජකාරි යොදවා ඇත.

මෙම සාකච්ඡාව සදහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගම්පහ දිසාපති සුනිල් ජයලත්, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා යන මහත්ම මහත්මීන් ඇතුළු ගම්පහ සියලු රාජ්‍ය ආයතන නියෝජිතයින් සහභාගී විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *