දීප ව්‍යාප්තව “යොවුන් ශීල සාමාධි වැඩ සටහනක්”

(කොළඹ, ලංකාපුවත්) –තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පයක් අනුව රටේ ජීවනාලිය – අපේ තරුණ පරපුර සුගතිගාමී කරවීම අරමුණ පෙරදැරි කොට ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානයකදීම සෑම පසොලොස්වක පොහොය දිනයන්හිදී තරුණ තරුණියන් ශීල සමාධියෙහි පිහිටුවීම හා දාන ශීල භාවනා වැඩ සටහන් වලට අවතීරණය කරවීම උදෙසා යොවුන් “ශීල සමාධි වැඩ සටහන” දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික තරුණ සේවා සභාවේ සහයෝගීත්වයෙන් ජාතික වෙළද හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරී දායකත්වයෙන් පහන් සිත් පදනමේ සංවිධායකත්වයෙන් සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රාහක දායකත්වයෙන් 2021 ජනවාරි මස 28 වන දුරුතු පුර පසලොස්වක පොහොය දින ඓතිහාසික කැළණි රජමහා විහාරාධිපති මාහාචාර්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දේශප්‍රේමී ශික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරී පූජ්‍යපාද බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේගේ උපදේශකත්වයෙන් ඓතිහාසික කැළණි රජමහා විහාරස්ථානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වගයි.

මෙම වැඩසටහන පිළිබද විශේෂ සාකච්ඡාවක් 2021.01.07 වන දින කැළණි රජමහා විහාරාධිපති මහාචාර්‍ය කොල්ලුපිටියේ මහා සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර ඒ සදහා පූජ්‍යපාද බෙංගමුවේ නාලක හිමිපාණෝ, කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ඩබ්.ඩී.කුමුදුනී මෙනවිය හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් දිසානායක මැතිතුමා, බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රණේපුර මහතා, තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ රජිත දෙල්වල මහතා, පුරවර සැරිසර ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ රංජිත් සදනායක මහතා, ජාතික වෙළද හා ව්‍යවසායකත්ව සම්මේලනයේ සභාපති නන්දන ඇඹුල්දෙණිය මහතා, පහන් සිත් පදනමේ නිර්මාතෘ දේශබන්දු සැමිකුමාරසිංහ මහතා, සික් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ සභාපති සමාජ සේවා සුභසාධන සාම ශ්‍රී දේශමාන්‍ය ඊ.සී.මොහාන් ප්ලසන්ට් මහතා සහ උප සභාපති ප්‍රේමසිරි සිල්වා මහතා, කැළණිය පොල් ස්ථානාධිපති සුදත් වල්පොල මහතා යන පිරිස සහභාගී විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම සංකල්පය යුගයේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, එය අගේ කල යුතු බවත්, සාකච්ඡාව මෙහෙයවූ කැළණි රජමහා විහාරාධිපති මහාචාර්‍ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමිපාණන් විසින් ප්‍රකාශ කරමින් තවදුරටත් පැහැදිලි කරන ලද්දේ බුදුන් වැඩිය පුදබිමෙන් මෙම උතුම් කර්තව්‍යයේ සමාරම්භක වැඩසටහන පැවැත්වීමට කටයුතු කිරීම වැදගත් බවත්ය.

යොවුන් ශීල සමාධි වැඩ සටහන කැළණි රජමහා විහාරස්ථානයේදී දුරුතු පොහෝදින ආරම්භ කරමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ජනතා නායකත්වය සහ අප රටේ තරුණ පරපුරට ආදර්ශයක් වෙමින් සිල් සමාදන් වීම අගේ කල යුතු කාර්යයක් බවත්, මෙම වැඩසටහනේ උපදේශක දේශප්‍රේමී භික්ෂු ලේකම් පූජ්‍ය පාද බෙංගමුවේ නාලක හිමිපාණන් හුවා දක්වන ලද අතර, මෙම වැඩසටහන දේශපාලන භේදයකින් තොරව සිදුකරනු ලබන බවද තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

දිවයිනේ සියලුම විහාරස්ථාන සම්බන්ධ කර ගනිමින්, යොවුන් ශීල සමාධි වැඩසටහන ට තරුණ තරුණියන් ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ හරහා සම්බන්ධීරකරණය වන අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ශාසන ආරක්ෂක බල මණ්ඩල දැනුවත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *