මෙරට නිවාස මිලියන 03ක එකම මොහොතක පැළ රෝපණ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝක තෙත් බිම් දිනය හෙටට (02) යෙදී තිබේ.

මේ අතර ලෝක තෙත්බිම් දිනය සමරමින් හෙට (02) පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 2021 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන ජාතික රුක්රෝපණ නැකත අනුව නැකතට පැළයක් නමින් සුවිශේෂි රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට පරිසර අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

එම දිනට සිටුවීම සඳහා පැළ ලබා ගැනීමට අවශ්‍ය බීජ රෝපණය කිරීම හෙට දින පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඊට සර්වාගමික පූජකතුමන්ලාට ද ආරාධනය කර තිබේ. අප්‍රේල් 16 දින සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙරට නිවාස මිලියන 03කවත් එකම මොහොතක පැළ රෝපණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පරිසර අමාත්‍යාංශයේ අරමුණ වේ.

1971 පෙබරවාරි 02 දින ඉරාණයේ රැම්සාර් හි දී පවත්වන ලද සම්මුතියට අනුව සෑම වසරකම පෙබරවාරි 02 දින ලෝක තෙත් බිම් දිනය ලෙස නම් කර ඇති අතර ලොව පුරා රටවල් ලෝක තෙත් බිම් දිනය සැමරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

2021 ලෝක තෙත් බිම් දිනයේ තේමාව වශයෙන් යොදා ගෙන තිබෙන්නේ තෙත් බිම් හා ජලය- Wetland and Water යන්නයි. මේ සම්බන්ධව පණිවුඩයක් නිකුත් කරන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේ රටේ තෙත් බිම් රැක ගැනීම සඳහා කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව අවධාරණය කර සිටී.

අපේ රටේ ප්‍රධාන වශයෙන් තෙත් බිම් පද්ධති 06ක් රැම්සාර් තෙත් අභයභුමි ලෙස නම් කර තිබේ. බුන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව අභයභූමිය, මාදුගඟ අභයභූමිය, වාන්කලේ අභය භූමිය, කුමන ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය එම තෙත් බිම් 06යි. මීට අමතරව රැම්සාර් තෙත් බිමක් ලෙස නම් නොකළද අප රටේ පෙනහැල්ල ලෙස හඳුන්වන මුතුරාජවෙළ තෙත් අභයභූමිය ආරක්ෂා කර ගැනීම සඳහා අපිට දැවැන්ත සටනක් ඇතැම් ව්‍යාපාරිකයින්, පාතාලයේ චන්ඩින් හා වෙනත් පුද්ගලයින් මෙන් ම ඇතැම් රාජ්‍ය නිලධාරින් සමග ද කිරීමට සිදුව තිබේ.

ඔක්සිජන් කන්නදැයි අසන ඇතැම් දේශපාලනඥයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්හට තෙත් බිමක අගය පැහැදිළී කර දීම පහසු නැත. නමුත් රජය විසින් තෙත් බිම් විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. තෙත් බිම් විනාශ කරන කවරෙකුට වුවද ඔහුගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. පරිසරයට හානි කරන ලද එවැනි පුද්ගලයින් 30කට අධික ප්‍රමාණයකට දැනටමත් නඩු පවරා ඇත.

ලෝක තෙත් බිම් දිනයේ මෙවර තේමාව තෙත්බිම් හා ජලය යනුවෙන් නම් කර ඇති අතර එමගින් තෙත් බිම් හා ජලය අතර ඇති සහසම්බන්ධතාවය වටහා ගත හැකි වේ. තෙත් බිම්ක් යනු හුදෙක් වගුරු බිමක් නොවේ. තෙත් බිමක් යනු සොබා දහමේ අවශ්‍යතාවයකි. සොබා දහම විසින් තෙත් බිමක් නිර්මාණය කරන්නේ මිනිසා ඇතුලු සියලු ජීවින්ගේ ජීව විද්‍යානුකූල ක්‍රියාවලියක අවශ්‍යතාවයක් නිසාය. නිදසුනක් ලෙස ගත් කළ මුතුරාජවෙළ ගත හැකිය. මුතුරාජවෙළ යනු කොළඹ හා ගම්පහ භූගත ජල ස්ථරය පෙරා පිරිසිදු කරන පිල්ටරයක් හා සමාන බව පරිසරවේදීන්ගේ මතයයි. මෙම පරිසර පද්ධති විනාශ කිරීම මගින් සිදුවන්නේ මිනිසා විසින් තමන්ගේ මිනී වළම ඔහුම කපා ගැනීමකි.

පසුගිය කාලය තුළ මුතුරාජවෙළ හා ආනවිලුන්දාව තෙත්බිම්වලට ඇතැම් පුද්ගලයින් විසින් හානි කළ අවස්ථා වාර්තා විය. ඒ සෑම අවස්ථාවකම දීම ම ස්ථාන වෙත තමන් පුද්ගලකිවම සොයා බලා අවශ්‍ය පියවර ගත් බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තෙත් බිම් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන සියලු පරිසර වේදීන්, පරිසර සංවිධාන හා විවිධ පාර්ශ්ව විසින් ගන්නා උත්සාහය අගය කරන බව ද , තවදුරටත් පරිසර අමාත්‍යාංශය වශයෙන් එම සියලු දෙනා සමග එකට එක්ව කටයුතු කිරීමට පියවර ගන්නා බවත් අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *