කොළඹ කොටුවේ CBD Business Centre නවීනතම පහසුකම් සමගින් දැන් විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ 01 ප්‍රදේශයේ පිහිටා ඇති CBD Business Centre ගොඩනැගිල්ල රු. මිලියන 609 ක වියදමින් මුළුමනින්ම නවීකරණය කර නැවත විවෘත කිරීමට එහි හිමිකරුවන් වන Cargo Boat Development Company (CBD) සමාගම පසුගියදා කටයුතු කළේ ය.

වසර 38 කට පෙර මුලින්ම ඉදිකරන ලද මේ සුවිශේෂී ගොඩනැගිල්ල දැන් සියලුම නවීන පහසුකම් වලින් සමන්විත වන අතර, පහසු කුලී වටිනාකමකට ඉන් කාර්යාල පරිශ්‍ර වෙන්කරවා ගැනීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව උදා වී තිබේ.

මෙම අවස්ථාවට ගෞරවණීය ආරාධිතයෙකු ලෙස සහභාගී වූ, දීර්ඝ කාලයක සිට CBD සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන, ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල්. ජේ. ප්‍රනාන්දු මහතා විසින් ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කරන ලදි. සභාපති රවී තම්බිඅයියා, උප සභාපති නිර්මලී තම්බිඅයියා, කළමනාකාර අධ්‍යක්ෂිකා නිරුජා තම්බිඅයියා, ID Lanka සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ මොහාන් තිස්සනායගම්, රේණුකා හොටෙල් සහ රේණුකා සිටි හොටෙල් හි සම කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන අර්නිලා තම්බිඅයියා සහ ෂිබානි තම්බිඅයියා, මායා ජයවර්ධන සහ ත්‍යාගරාජා ධර්මරාජා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

ඊට අමතරව ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා සහ, CBD Business Centre හි මුල්ම කාර්යාල පරිශ්‍රය වෙන්කරවා ගත්, Crab Corp හි අධ්‍යක්ෂ සහ Ministry of Crab සම නිර්මාතෘ දර්ශන මුනිදාස මහතාද මෙම අවස්ථාවට එක්වූහ. Avant Garde Urban Design Partnership හි නියෝජිතයන් සහ, ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන් වූ Sanken Construction (පුද්.) සමාගමේ නියෝජිතයන්ද සමාරම්භක උත්සවයට එක්වී සිටියහ.

“මේ ගොඩනැගිල්ල, සභාපති රවී තම්බිඅයියා මහතා විසින් මුලින්ම ඉදිකරන ලද්දේ 1982 වසරේදීයි. එය කොටුව ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ලද මුල්ම ව්‍යාපෘතිය වූ අතර එම ප්‍රදේශයේ උසට විහිදුණු ගොඩනැගිලි අතර මුල්ම ගොඩනැගිලි කිහිපයෙන් එකක්ද වනවා. ගොඩනැගිල්ලෙන් මුල්ම වරට කාර්යාල පරිශ්‍රයක් වෙන්කරවා ගත් ABN බැංකුව එසේ කළේ 1980 වසරේ අප්‍රේල් මාසයේදී, එනම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් වීමට වසර එකහමාරකටත් පෙරයි. Bankers Trust, Swiss Air, Julius & Creasy යන සුවිශේෂී සමාගම් වගේම මහ බැංකු කාර්යාල, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය වැනි සුවිශේෂී ආයතනත් මෙහි කාර්යාල අවකාශයන් භාවිතා කළා.” කළමනාකාර අධ්‍යක්ෂිකා නිරුජා තම්බිඅයියා මහත්මිය පැවසුවා ය.

“මේ ගොඩනැගිල්ල 1982 වසරේදී මුලින්ම ඉදිකළේ CBD සමාගමේ මුල් මවු සමාගම වන, 1866 ආරම්භ වූ ග්‍රීක නැව් සේවා සමාගමක් වන Cargo Boat Despatch සමාගමේ කාර්යාල පිහිටා තිබූ පරිශ්‍රය තුළයි. මෙම සමාගම මගේ සීයා වන, 1947 සිට 1956 දක්වා කයිට්ස් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද කටයුතු කළ ඒ. එල්. තම්බිඅයියා මහතා විසින් අත්පත් කරගනු ලැබුවා. ඔහු ඒ සමාගම රටේ ප්‍රමුඛතම නැව් සේවා සමාගමක් බවට පත් කළ අතර, 1958 වසරේදී රජයට පවරාගැනීමට පෙර කොළඹ වාරයේ බොහෝ කටයුතු කළමනාකරණය කරමින් සිටියා.

“CBD Business Centre නවීන පෙනුමක් සහ නවීනතම පහසුකම් එක්කර විවෘත කිරීමට අප දැන් පියවර ගෙන තිබෙනවා. තම කාර්යාල පරිශ්‍රයන් ඉතාමත් ප්‍රවේශමෙන් තෝරාගැනීමට සමාගම් හා ආයතන යොමුවී ඇති මෙවන් යුගයක අපට අවශ්‍ය වුණේ සැලසුම, තිරසාරත්වය, ක්‍රියාකාරීත්වය සහ පහසුව යනාදී සියල්ල නිසි ලෙස සපුරාලන ආකාරයට මේ නවීකරණය සිදුකිරීමටයි.” නිරුජා තම්බිඅයියා මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති වාණිජ අවකාශයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂිත CBD Business Centre අංක 41, ජනාධිපති මාවත, කොළඹ 01 යන ස්ථානයේ පිහිටා තිබේ. ජනාධිපති මාවත ඔස්සේ මෙන්ම රෝහල් මාවත ඔස්සේද මෙම මධ්‍යස්ථානය වෙත ළඟා විය හැක. මහ බැංකුව ගොඩනැගිල්ලට ඉදිරිපසින්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ කොළඹ වරාය නගරයට ඇවිදින දුරින් පිහිටා ඇති මෙය මහල් 11 කින් සහ වර්ග අඩි 54,400 ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වන අතර, කොළඹ නගරය, කොළඹ වරාය, කොළඹ වරාය නගරය සහ ඉන්දියන් සාගරය ඊට අලංකාර ලෙස දර්ශනය වේ.

ප්‍රමාණයෙන් කුඩා කාර්යාලයීය අවකාශයන් සොයන සමාගම් හා ආයතන වෙනුවෙන්, වර්ග අඩි 5700 කින් යුත් සෑම මහලක්ම වර්ග අඩි 2,800 බැගින් වූ කොටස් දෙකකට බෙදනු ලැබේ. පළමු මහලේ සිට 9 වන මහල දක්වා, වර්ග අඩියක් සඳහා රු. 195 (සහ බදු) යන විශේෂ හඳුන්වාදීමේ මුදලක් යටතේ කුලියට දෙනු ලබන අතර, බිම් මහල සඳහා මෙය වර්ග අඩියකට රු. 220 ක් (සහ බදු) වේ.

කැනඩාවේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Hoist Global Tech Solutions Inc. හි ශ්‍රී ලාංකික අංශය වන Hoist Global SL (පුද්.) සමාගම මේ වනවිට CBD Business Centre හි කාර්යාල පරිශ්‍රයක් වෙන්කරවාගත් දෙවැනි සමාගම බවට පත්වී සිටී.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්බන්ධ අලුත්වැඩියාවන් සිදුකර විදුලි හා ජලනල පහසුකම් අලුතින් යෙදීමට අමතරව CBD Business Centre හි විදුලි බලය පිරිමසින වායු සමීකරණ පද්ධතියක් සහ LED ආලෝකකරණ පද්ධතියක්ද යොදා තිබේ. සෑම කාර්යාලයක් සඳහාම විදුලිය, ජලය සහ BTU මාපක වෙනම යොදා ඇත. ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේ අලුත්ම ලොබියක්, නවතම මගී සහ සේවා විදුලි සෝපාන, වැඩිදියුණු කළ ගිනි ආරක්ෂණ පද්ධතියක්, විදුලිය බිඳවැටීමකදී 100% ක් බලය සැපයීමේ හැකියාව සහිත විදුලි ජනක යන්ත්‍ර පද්ධතියක්, නවතම සනීපාරක්ෂක පහසුකම් සහ පැන්ට්‍රි වැනි පහසුකම් මෙන්ම එම ස්ථානයේ සිටම ක්‍රියාත්මක වන ගොඩනැගිලි කළමනාකරණ සේවාවක්, පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවක්, පොදු ස්ථාන වල CCTV කැමරා සහ බේස්මන්ට් කොටසේ රථවාහන නැවැත්වීමේ ස්ථානයක් වැනි පහසුකම් රාශියක් CBD Business Centre සතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *