මොණරාගල පාසල් දරුවන්ට කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් මිලියනයකට ආසන්න පරිත්‍යාග

(කොළඹ, ලංකාපුවත්) –2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන මොණරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා සහිත පවුල්වල දූදරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුත් පොත් බෑග් දහසක් පිරිනැමීමට කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම පසුගිය දා කටයුතු කරන ලදී.

දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ඇති “දිනමු” වැඩසටහනෙහි එක් ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන පාසල් උපකරණ බෙදා දීමට සමඟාමීව සිදු කල මෙම පරිත්‍යාගය රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා විසින් කොළඹ වරාය නගරය පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයේ දී නිල වශයෙන් භාර ගැනීම සිදු විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මෙන් ම කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ රාජා එදිරිසුරිය, කොළඹ වරාය නගර සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ යුවේ යේචිං, එම සමාගමේවෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ යමුනා ජයරත්න සහ එහි මහජන සම්බන්ධතා ප්‍රධානි කස්සප සෙනරත්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා රටේ අනාගතය භාර ගැනීමට සිටින දුවා දරුවන් වෙනුවෙන් ඉදිකෙරන වරාය නගරය තුළින් ඔවුන් අනාගත ලෝකයේ අන් රටවල් සමඟ තරගකාරීව ශක්තිමත්ව මුහුණ දීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් උරුම කර දීම අප සැමගේ වගකීමක් වන බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අද දවසේ කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම ශ්‍රී ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන මොණරාගල දිස්ත්‍රික්කයේ මේ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දූ පුතුන් වෙනුවෙන් ලබා දුන් පරිත්‍යාගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය.

කොළඹ වරාය නගර සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ යමුනා ජයරත්නමහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ වරාය නගර ව්‍යාපෘතිය හෙට දවසේ දකුණු ආසියාවේ ජගත් මුවදොර ලෙස ඔසවා තබනේද, අද දවසේ කුඩා දූදරුවන් ලෙස කෙළිදෙලින් පසුවන සිසු දරුවන් නිසාවෙන් වරාය නගරය සැමවිටම ඔවුන් වෙනුවෙන් අද දවසේ ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නට කැපවී සිටියි.ඉදිරියේදීත් ශ්‍රී ලාංකීය දූදරුවන් වෙනුවෙන් වූ මෙවැනි කටයුතු සදහා සහය දැක්වීමට කොළඹ වරාය නගරය නිරතුරුව කැපවී සිටින බව ද ඇය සඳහන් කළාය.

පරිත්‍යාගයෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස කොළඹ වරාය නගර ඉදිකිරීම් භූමියේ සංචාරයක නිරත වූ අතර එහි වත්මන් ප්‍රගතිය පිළිබඳ ව දැනුවත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *