පෙබරවාරියේ සංචාරකයන් පැමිණීම දෙගුණ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයන් 1,682 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් 3,366 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ ගුවන් තොටුපොළ විදෙස් සංචාරකයන් වෙනුවෙන් පසුගිය ජනවාරි මාසයේ 21දා ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට රජය පියවර ගන්නා ලද අතර ඒ අනුව මේ වන විට විදෙස් සංචාරකයෝ වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

කෙසේ වුවද පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස 18දා සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට රජය තීරණය කරන ලද අතර ඒ හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටුණි.

කෙසේ වුවද පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් 207,507 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එම වාර්තා සැලකිල්ලට ගැනීමේදී මේ වසරේ පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම සියයට 98.4කින් පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වසරේ ගෙවී ගිය ජනවාරි සහ පෙබරවාරි මාසයන්හි දී විදෙස් සංචාරකයන් 5,048 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉදිරියේදී වැඩි වශයෙන් විදෙස් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *