පාස්කු කොමිසමේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – අගරදගුරු

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු බවට කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කර තිබෙන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (04) පැවසූහ.

හිටපු ජනාධිපතිවරයා ඡන්දය ඉල්ලන බවට ප්‍රචාරයක් තිබෙන බව සඳහන් කළ උන් වහන්සේ සිය යුතුකම් දැන දැනත් විදේශගත වූ ඔහු යළි මැතිවරණයකට පැමිණෙන්නේ ඇඳුම් ඇඳගෙනදැයි විමසා සිටියහ.

තමන්ට එදා පැවරී තිබූ වගකීම් ඉටු නොකොට වර්තමානයේ දී යළි වගකීම් ඉල්ලන්නේ කෙසේදැයි ද උන්වහන්සේ ප්‍රශ්න කළහ.

පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන මඟහැරී බව කියන නිලධාරියකු මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දරමින් සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවෙන් පැහැදිලිව නම් කර තිබෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට මාස ගණන් බලා සිටිය යුතු නැතැයි ද උන් වහන්සේ පෙන්වා දුන්හ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූත්, සහරාන්ලා සමඟ සමීපව ගනු-දෙනු කළා වූත් ඇතැම් මැති ඇමැතිවරුන් නිරුපද්‍රිතව පාර්ලිමේන්තුවේ වාඩි වී සිටීම කතෝලික ජනතාවට කරන අපහාසයක් යැයි ද සෙප්පඩ විජ්ජාවන් නොකර කඩිනමින් ඔවුන් පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද උන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ ය.

අප්‍රේල් 21 දිනට ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් යුක්තිය හා සාධාරණත්වය උදෙසා පාරට බැසීමට සූදානම් යැයි ද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

උන් වහන්සේ මේ අදහස් පළ කළේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් යාඤා කොට පිටතට එන අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *