ලේ බැංකුවේ ලේ හිඟය පියවීමට ඇමති නාමල් මුලපුරයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.

ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට අද (19) පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍යවරයා, ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.

ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.

ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත දැනුම් දුන්නා.

ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය කර්මයට ඔබට දායක විය හැකියි.

ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.

රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *