එක්ස්ප්‍රස් පර්ල් ගිලී යෑමට ආසන්නයි

(කොළඹ, ලංකාපුවත්) – ගිනි ගැනීමට ලක් වීම හේතුවෙන් ගිලී යෑම ආරම්භ වී ඇති එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වී සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපි⁣ළිවෙළක් ක්‍රියාත්මක කර සීරුවෙන් පසු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

තෙල් කාන්දු මඟින් සමුද්‍රීය පරිසරයට වන හානි වැළැක්වීමට යොදා ගන්නා ‘සාමාරක්ෂා’ නෞකාව මේ වන විටත් අදාළ ප්‍රදේශය වෙත පිටත් කර ඇති බවත් මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගන්නා බවත් හෙතෙම කීය.

නෞකාව ගිනි ගැනීමට ලක් වූ දින සිට මේ දක්වා පාරිසරික හානිය අවම කිරීමට අවශ්‍ය සියලු පියවර නාවික හමුදාව ගෙන ඇති බවත් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නෞකාව අයත් සමාගම සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ඇතුළු සියලු පාර්ශ්ව ගන්නා ක්‍රියාමාර්ග සියල්ල සම්බන්ධීකරණය කිරීම නාවික හමුදාව විසින් සිදු කරන බවත් කපිතාන්වරයා කීය.

ඉන්දියාවේ හසීරා වරායේ සිට බහාලුම් 1,486ක් රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ නැංගුරම් ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 20දා ගිනි ගැනීමට ලක් වූ අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත්තද එය ව්‍යාර්ථ වී ගියේය.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නෞකාව ගැඹුරු මුහුදට ඇඳ ගෙන යෑම ආරම්භ කළද ඊයේ (2) දහවල් වන විට නෞකාවේ පිටු පස කොටස මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් ඇඳගෙන යෑම අත් හැර දැමීමට සිදු විය.

මේ වන විට කොළඹ වරායට නුදුරින් මීටර් 22ක් පමණ ගැඹුරු මුහුදේ නෞකාව නවතා ඇති අතර, මීටර් 186ක දිගකින් යුතු නෞකාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුහුදේ ගිලී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *