“ගුරු අභිමානී” අගමැති ප්‍රධානත්වයෙන් හෙට දියත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ගුරු අභිමානී” වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) ආරම්භ කෙරේ.

පෙර පාසල් ගුරුවරුන් සදහා රුපියල් 2500 දීමනාව ලබාදීම ආරම්භ කිරීම හා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම, සෞභාග්‍යයේ පෙර පාසල් 150 ක් සඳහා රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදීම හා පෙරපාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 6 බැගින් මුදල් ප්‍රතිපාදන ලබාදීම යන කර්තව්‍යයන් නිලවශයෙන් ආරම්භ කිරීම මෙහිදී සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන “ගුරු අභිමානි” වැඩසටහන පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ “ගුරු අභිමානි” යනු රටේ අධ්‍යාපනය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සහ සමස්තයක් ලෙස බලන කල රටක් වශයෙන් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහණයක් ලෙස සැමට මේ පිළිබඳව සතුටු විය හැකි බවයි.

ඒ සඳහා නිසි නායකත්වය ලබාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස්, ජනාධිපති කාර්‍යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ටත් මේ වෙනුවෙන් කැපවුනු සැමටත් අමාත්‍යවරයා සිය ස්තූතිය පුදකර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *