සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට එන්නත්කරණය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – අර්බුදයට ලක්ව ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ලක්ෂ 5ක් වන සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් කඩිනම් එන්නත්කරණයකට ලක් කිරීම ආරම්භ කෙරේ.

අද(10) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් සේවක සේවිකාවන් 500 දෙනෙකු, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියැදුරන් සහ සෆාරි රියදුරන් 150 ඇතුළුව දහසක පමණ පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීම ස්ථාන හතරක දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක් වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී කාලසීමාවකට අප එළඹ ඇති බවයි. ” කොරෝනා වසංගතය නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික, සමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙල ආරම්භ කරලා තියෙනවා. එහිදී ප්‍රමුඛතම කාර්ය වන්නේ සහ ලෝකය ම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත්කරන වැඩපිළිවෙළ තුළ රට විවෘත කිරීමට හැකි වන බවයි. දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කර සාර්ථකම රට ශ්‍රී ලංකාවයි.

ඒ වගේම බුබුළු ක්‍රමය හරහා සංචාරක ව්‍යාපාරය දකුණු ආසියාතික රටක් විදියට ප්‍රථමයෙන්ම ආරම්භ කළේ අපි. පසුගිය වසරේ එල්. පී. එල් තරගාවලිය ජෛව බුබුළු ක්‍රමය යටතේ ආරම්භ කලා. අපෙන් ලැබූ ආභාෂය මතයි පසුව දකුණු ආසියාතික රටවල් ජෛව බුබුළු ක්‍රමය හරහා ක්රීඩා තරග පවත්වන්න කටයුතු කළේ.”

ක්‍රමක්‍රමයෙන් ලෝකය සංචාරකයින්ට විවෘත වෙන අවස්තාවේදී ඊට සූදානමක් හැටියට ලෙස එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථව ක්‍රියාත්මක කිරීමට ආන්ඩුවට හැකි වීම සතුටට කාරනයක් බව මෙහිදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *