(කොළඹ, ලංකාපුවත්) – පරිසර දූෂණයට හේතුවෙන පරිදි කැළිකසළ බැහැර කරන, පොලිතීන් හා ප්ලාස්ටික් ගිනිතබන පළාත් පාලන ආයතන, රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවලට එරෙහිව නඩු පැවරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම පියවර අද(04) සිටම ක්‍රියාත්මක කරමින් සබරගමුව පළාත් සභාවට අයත් පළාත්පාලන ආයතනයකට කැළිකසළ හා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව නඩු දැමීම සඳහා වන නියෝගයට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අත්සන් තබා ඇත.
පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තබා පිළිස්සීම මුළුමනින්ම තහනම් කර ඇති අතර ඒවා අවිදිමත් ලෙස ගිනි තැබීම නිසා පිළිකා හා ස්වශන රෝගවලට හේතුවන ෆියුරන් හා ඩයොක්සීන් වායුව වායු ගෝලයට එක්වීම මගින් දැඩි පාරිසරික හානියක් සිදුවේ. එමනිසා පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තබා විනාශ කිරීම මුලුමනින්ම තහනම් කර තිබෙන බව ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.
මේ නීති උල්ලංඝනය කර පරිසරයට හානි වන අයුරින් කටයුතු කරන කවරෙකුට වුවද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පවසයි.
පරිසර අමාත්‍යංශයේ දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැති අමරවීර මහතා මේ බැව් අනාවරණය කළ අතර එහිදී මෙම අදහස්ද පළකළේය
‘මේ වනවිට සැෂේ පැකට් නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය මුළුමනින්ම අදාල සමාගම් විසින් නවත්වා තිබේනවා… සැෂේ පැකට් තහනම් කිරීමත් සමග කිසියම් විරෝධතාවයක් සමාජය තුළින් මතු වේ යැයි පරිසර අමාත්‍යංශය උපකල්පනය කළ ද එවැනි තත්ත්වයක් උද්ගත වුයේ නැහැ. ඒ මහජනතාව විසින් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පරිසර අමාත්‍යංශය විසින් ගත් වැඩ පිළිවෙළ නිවැරදි බව දැන සිටි නිසා යි.
දැනට වෙළෙදපළේ සැෂේ පැකට් අලෙවිය සඳහා නැහැ.එහෙත් දුර බැහැර පිහිටි කුඩා සිල්ලර වෙළෙඳසැල්වල සුළු වශයෙන් තවමත් පැරණි තොග අලෙවි කරනු ලබනවා.. එමනිසා ඉදිරි මාස දෙක තුළ මුළු ශ්‍රී ලංකාවෙන්ම සැෂේ පැකට් භාවිතයෙන් ඉවත් වනු ඇති. සැෂේ පැකට් මගින් සිදු වූ පාරිසරික හානිය දෙස බලන විට ඒවා භාවිතයෙන් තුරන් කිරීමට ලැබීම රටේ සියලු ජනතාව පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් ලද ජයග්‍රහණයක් ‘යැයිද ඇමැතිවරයා මෙහිදී කීය.