(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ආකර්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටක් බවට යළිත් වරක් පත්වෙමින් ලොව සංචාරය සඳහා හොඳම දිවයින් 25 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ තිබේ.
සුප්‍රකට ‘ට්‍රැවල් ප්ලස් ලෙෂර්’ සංචාරක මාර්ගෝපදේශ සඟරාව මඟින් ලොව සංචාරයට සුදුසු ප්රමුඛ දිවයින් සම්බන්ධයෙන් කර තිබෙන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම දිවයින් 25 අතරට නම් කර ඇත.
අමෙරිකා එක්සත් ජනපද ‘මෙරිඩිත්’ මාධ්‍ය සමූහය මඟින් ප්‍රකාශයට පත් කරන එම සඟරාවේ නවතම කලාපයෙන් මෙලෙස ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට නම් කර තිබෙන අතර, එහි දී ශ්‍රී ලංකාවට අමතරව සීෂෙල්ස් දිවයින හා සම ස්ථානයට නම් කර තිබීම විශේෂත්වයකි.
සංචාරකයන් අතර බලපෑමක් කළ හැකි ට්‍රැවල් ප්ලස් ලෙෂර් සඟරාව මේ වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත තෝරා ගැනීම සඳහා පසුගිය ජනවාරි 11 දා සිට මැයි මස 10 දා දක්වා සමීක්ෂණයක් පවත්වා තිබෙන අතර, වසර තුනක කාලයක් තුළ සංචාරකයන් ලැබූ අත්දැකීම් පදනම් කර ගනිමින් එය සකස් කර තිබේ.
මේ සමීක්ෂණයට අනුව සංචාරය සඳහා හොඳම දිවයින ලෙස ග්‍රීසියේ මිලොස් දූපත ඉදිරියෙන්ම සිටින අතර, ග්‍රීසියේ ෆ්ලෙගන්ඩ්රොස් දූපත දෙවැනි ස්ථානයට පැමිණ තිබේ. එයින් අනතුරුව කොදෙව් දූපත්හි සාන්ත වින්සන්ට්, පෘතුගාලයේ මැඩේරා, ඉන්දියාවේ අන්දමන්, ඉතාලියේ සිසිලි, තායිලන්තයේ කෝ සැමුයි, ඉන්දුනීසියාවේ බාලි, හවායි, ඉක්වදෝරයේ ගලපාගොස් දූපත් ලොව හොඳම දූපත් වශයෙන් තෝරා ගෙන ඇත.