(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික ගුවන් සබඳතා තවදුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ගුවන් සමාගම් 7ක් කැමැත්ත පළ කර තිබේ.
මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා ඍජු ගුවන් සේවා ඇරඹීමට එම ගුවන් සමාගම් 7 සූදානමින් සිටින බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මේ අතුරින් ගුවන් සමාගම් 5ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපොළට සිය මෙහෙයුම් කිරීමට එකඟත්වය පළ කර තිබෙන අතර, රුසියාවේ AEROFOLT ගුවන් සමාගම නොවැම්බර් 4 දා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
රුසියානු ගුවන් සමාගමක් වන AZUR AIR ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11 දා සිට කිරීමට නියමිත බවද සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඔවුන්ගේ විශේෂ ගුවන් යානා ලබන 30 දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඉතාලි NEOS ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIRFRANCE ගුවන් සමාගමත් නොවැම්බර් 1 දා සිට කටුනායක ගුවන් තොටුපොළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බංගලාදේශ US BANGLA AIRLINES සමාගම ද නොවැම්බර් 1 දා සිට කටුනායක ගුවන් තොටුපොළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සූදානමින් සිටී.
ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ ARKIA ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ SWISSAIR ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි කැමැත්තෙන් පසුවන බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇතැයි ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට ගුවන් සමාගම් 16ක් ගුවන් මගී මෙහෙයුම් කරයි.
කටුනායක ගුවන් තොටුපොළට භාණ්ඩ මෙහෙයුම් කරන ගුවන් සමාගම් ගණන 8කි. ගුවන් සමාගම් 4ක් කටුනායක ගුවන් තොටුපොළට මගීන් රැගත් විශේෂ ගුවන් ගමන් කරයි.