ඉන්දියාවේදී හසුවූ ISIS සාමාජිකයා සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකික 702ක් ගැන විමර්ශන

(ලංකාපුවත් | කොළඹ) –ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි.එස්.අයි.එස් සමාජිකයකුගේ දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ තොරතුරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සම්සුදීන් නම් අයි.එස්.අයි.එස් සාමජිකයාගේ වට්ස් ඇප් ගිණුමේ තිබී මෙම ශ්‍රී ලාංකිකයන් 702 දෙනාගේ තොරතුරු හමුවී ඇති බවත් ඒ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු ලෙස කටයුතු කළ සහරාන් හෂීම්ගේ ඡායාරූප සහ දේශන ද සොයාගෙන ඇති බව ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය ඊයේ (01) අධිකරණයට වාර්තා කර තිබේ.

මේ දුරකතන අංක 702 සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙරට රජයෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනය ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසයට භාරකළ බවත් ඒ අනුව කළ විමර්ශනයකදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *